Friday, April 24, 2015

මසාඩා

සාමාන්‍ය දැනුම සමූහයෙන්

ප්‍රබල අධිරාජ්‍යකට එරෙහිව සටන් වැදුණු මිනිසුන් පිරිසක් හතර වටින්ම ළඟා විය නොහැකි ලෙස බෑවුම් සහිත මහා පර්වතයක් මත ස්වාධීනව වාසය කරති. මෙම පර්වතය වට කරන අධිරාජ්‍ය උපරිමය යොදා පහර දෙන මුත් කුඩා පර්වත රාජ්‍යය ලෙහෙසියෙන් පැරදිය නොහැක. පර්වතයට නැගීමට නොහැකි නිසා හමුදා මෙහෙයවිය නොහැකි බැවින් අධිරාජ්‍යයෙ හමුදා පසෙකින් පස් පුරවා ආනත බැම්මක් තනති. එහෙත් මේ බැම්ම තනන හමුදා මතට ඉහලින් ගල් පෙරලමින් කුඩා රාජ්‍යය සටන් කරයි.

සටන දිනන්නට නොහැකි බව දුටු අධිරාජ්‍යය බැම්ම බැඳීම සඳහා කුඩා රාජ්‍යයේ අයගෙම ජනතාවගෙන් උන් අල්ලා ගෙන සිටින වහලුන් යෙදූහ. පරාජය පෙනී පෙනී ද පර්වත මස්තකයේ හුන් කුඩා රාජ්‍යයේ සෙබළු තම වර්ගයාට එරෙහිව ගල් පෙරලුයේ නැත. අවසානයෙ පර්වතය මුදුනට ළඟා විය හැකි තරම් උසට ඒ ආනත බැම්ම බැඳ ජයග්රාහිව සතුරු බලකොටුවට ඇතුළු වන අධිරාජ්‍යයට හමු වූයේ යටත් වීම වෙනුවට සියදිවි හානිය තෝරාගත් මළ නගරයකි.

අදටත් සියදිවි හානියෙන් ගෞරවනීය ලෙස මිය යාමට මෙම බලකොටුවේ නම යොදයි. මෙහි නම එක් ප්‍රකට විද්‍යා ප්‍රබන්ධයක එම ජාතියේම පිරිසක් කරන එවැනිම දිවි නහ ගැනීමක් සම්බන්ධයෙන් භාවිතා කරන නාමය ද වේ.

1. බලකොටුවේ නම කුමක්ද?

2. වීරෝධාර ලෙස සටන් කර මුත් තම ප්‍රජාවේ වහලුන්ට ගල් නොහෙලා පරාජය බාරගත් ජාතිය කුමක්ද?

3. ආක්‍රමණික අධිරාජ්‍යය කුමක්ද?

4. [බෝනස්] අදාළ වදන යොදා ගන්නා විද්‍යා ප්‍රබන්ධය කුමක්ද? වදන යොදා ගන්නේ කිනම් අවස්තාවක් විස්තර කිරීමටද?

--------------------------------------------------------------------

මේ  කතා කරන්නේ මසාඩා  ගැන. මසාඩා බලකොටුව තියෙන්නේ  වර්තමාන  ඊශ්‍රායලයේ  මළ  මුහුද  අසල. කතාවට අදාළ සිද්ධි වලට පෙර පටන්ම එය බලකොටුවක්. මීටර හාර  සියයේ සිට අනූව දක්වා රේන්ජ් එකකින් වටේ පොළොවෙන් ඉහලට මතුවෙනවා. උඩ මීටර සිය ගානක දිග පළල සානුවක්. බඳ  හරි  කෙලින්  ගැට්ටක්.


කලකට පෙර ඩොකියුමන්ටරියක [චැනල් අයි එකේ ගිය :)] දුටු පරිදි මෙය කිසිම මහද්වීපික තැටියක කොටසක් නොවන කුට්ටියක්. තැටි පාවෙද්දී මේ පර්වතය රෝලර් බෙයාරින් එකක් වගේ කරකෙනවලු. ඒ භූ ගෝල විද්‍යා කෑල්ල ෂුවර් නැහැ.

මේ පර්වතයට පහසුවෙන් නගින්න බැහැ. පොයු 70  කාලේ  යුදෙව්  කැරැල්ල  මර්දනය කිරීමත්  එක්ක රෝමානු අධිරාජ්‍ය ගැන කල කිරෙන යුදෙව් කැරලි කරුවන් පිරිසක් මේකට නැගලා රාජ්‍යයක් තනා ගන්නවා. පවුල් පිටින් ඔක්කොම දහසක් විතර.

මේ  මසාඩාවේ  එසවුම  වටේ  භූමියට  සාපේක්ෂව.


Masada, Archeological sites of Israel, west of the Dead Sea
රෝම කාරයෝ මේක වට කරනවා. නමුත් උන්ට උඩට යන්න බැහැ. උඩ ඉන්න උන් එක එක යුධ උපක්‍රම වලින් රෝමානුවන් හිර කරනවා. ඒ නිසා රෝමානුවන් මේකට නගින්න පැත්තකින් රෑම්ප් එකක් හදන්න පටන් ගන්නවා. එහෙත් මසාඩා වලින් දිගටම එල්ල වෙන ප්‍රහාර [ගල් පෙරලීම ආදී] නිසා වැඩේ කරගන්න බැහැ.

මේ  මසාඩා  මුර  කපොල්ලකින් මළ  මුහුද  දිහාව  පෙනෙන  හැටි.  යුද්ධයේ වාසිය ඔවුන්ට  බවට  මේ  වීව්  එක  සාක්කියක්.
View of the Dead Sea and surrounding area from a view point in Masada
රෝමන් කාරයෝ අන්තිමට කරන්නේ රෑම්ප්  එක  හදන්න යුදෙව් වහලුන් දාන එක. පරාජය පෙනී පෙනීත් මසාඩා සෙබළු උන්ට ගල් පෙරලන්නේ නැහැ. අවසානයේ මීටර සියයකට වඩා උසකට රීච් කරන රෑම්ප් එක ඉවර කරලා  රෝම  හමුදාව  නගරයට  ඇතුළුවෙනවා. යටත්  වීම  වෙනුවට  මසාඩා  වැසියන්  තෝරාගන්නේ  මරණය. මසාඩා වලට හමුදා එනකොට ඔවුන් සියලු දෙනා සියදිවි නසාගෙන [හරියටම කිව්වොත් කීප දෙනෙක් ඇරෙන්න ඉතිරි ඔක්කොම]

ඊගාව   පින්තුර  දෙකෙන්  බලන්න  රෑම්ප්  එක.



නගර රාජ්‍යය පවතින්නේ වසරක් දෙකක් විතර. මේ කාලේ රෝමෙට එරෙහිව එහෙම දෙයක් දාහක් විතර පිරිසක් කල එක පුදුමයට කරුණක්.

මේ පෝස්ට් එක ගැන රාජ් මතුකරන ප්‍රශ්නය: මේ ජන කොටස (යම් මට්ටමකට හෝ) ස්වංපෝෂිතව හිටියද? එහෙම වෙන්න පුළුවන්ද?(පොලවෙ හැටි බැලුවම)

මුලින්ම කියන්න ඕනේ මෙතන නගරයක් හදන්නේ මේ මිනිස්සු නොවේ. මීට සියවසකටත් වඩා කලින් හෙරෝද් [ප්‍රකට] තමයි මෙතන නගරයක් හදන්නේ. ඒක ලක්සරි සිටි එකක්. දහසකට පමණ ඉඩ තියෙන. හදිසියකදී එයාටයි එයාගේ හිතවතුන්ටයි පලාගොස් හැංගෙන්න. මෙතන හෙරෝද් ට හදාපු මාලිගාව ලක්සරි උපරිමයට. නාන තටාක, රෝමානු පන්නයේ ස්නානාගාර, උණුවතුර තටාක ආදිය එක්ක. වතුර ගන්න හෙරෝද් වැහිදිය එකතු කරන විශාල ටැංකි හදනවා. ඒවා මිනිසුන් දහසකට සැපයුම් දෙන්න ප්‍රමාණවත්. කාන්තාරේ වගේ වුනාට හිටිගමන අම්බානට වහිනවලු. රෝමන්වරුන් වට කරද්දී භාවිතා වෙන්නේ ඒවා තමා. ආහාර ගබඩා එහෙමත් දිගු කලකට ප්‍රමාණවත්.

කැරැල්ලේ මුල කාලේ යුදෙව් සටන් කරුවන් රාත්‍රියේ පහලට බැහැලා අසල රෝමානු පාර්ශ්වයට ලැදි නගර මංකොල්ල කනවලු. එහිදී ඔවුන් ම්ලේච්ච සමූලඝාතන කරලා තියෙනවා. [යුදෙව්වෝ පාවා දෙන්නන්ට සලකන්නේ ඉතාම ම්ලේච්ච ලෙසින්]. ඒ මංකොල්ල කාපු ආහාර තමයි භාවිතා කරන්න ඇත්තේ.

මසාඩා ගැන විවාද රාශියක් තියෙනවා. රෝමන් කාරයෝ මුලදී ගණන් ගත්තේ නැහැල්ලු. සමහරු කියනාකාරයට රෝමානු වැටලුම මාස කීපයක් පමණයි යන්නේ. ඊට පෙර දෙවසරක් පමණ මසාඩා කරදරයක් නැතුව දිව්වලු. මසාඩා කියා එකක් වුණේවත් නැති ගානට මේ ගැන විවාදාත්මක මත තියෙනවා. මගේ සටහන් ඒ ගැන තියෙන දැනට පොදුවේ පිළිගැනෙන අදහස මත පදනම් වන්නේ.

මසාඩා ගැන සඳහන් වන මා දන්නා විද්‍යා ප්‍රබන්ධය "රික්ටර් 10" [තව ඒවා තිබිය හැකිය - මා දන්නේ නැත]

ආතර් සී ක්ලාක් ගේ වචන අටසීයක ප්රෝපොසල් එකක් කියවා මයික් මැක්වේ විසින් ලියු Richtor 10 විද්‍යා ප්‍රබන්ධය තුල, අරාබි හා ඉරාන හමුදා වලින් ප්‍රහාරයක් ඒමට ආසන්න අවස්ථාවේ තව දුරටත් දිනිය නොහැකි බව දැනගත් පසු තම උපරිම න්‍යෂ්ටික බලය යොදවා මුළු අරාබියම පුපුරුවා හරින ඊශ්‍රායල ක්‍රියාව මසාඩා ඔප්ෂන් කියා හඳුන්වන්නේ.

පින්තූර  විකිය  හා වෙනත්  මූලාශ්‍ර  කීපයකින්  ගත්තේ.  මෙන්න  මේක  ලින්ක්  කරනවා  එතන  ඔය  වටාපිටාවේ  පින්තුර  රාශියක්  ඇති  නිසා.

Tuesday, April 21, 2015

කුණාටුව ඇතුළෙන්

අද අපිට කුණාටු. නගරය ඉක්මනින් හිස් කරගන්න මිනිස්සුන්ව ගෙදර යවන්න කියලා ආණ්ඩුවෙන් සේවා ආයතන වලට දැනුම් දීල තිබ්බා. කල්තියාම ගෙදර ඇවිත් කුණාටුව එනකම් ඉන්න අතරේ මතක් වුනේ සාමාන්‍ය දැනීම සමූහයේ කතාවට ගත්ත මෙන්න මෙයාගේ කතාව.

කිසියම් කෙනෙක් වරක් කිසියම් ක්‍රීඩා ඉසව්වක පුහුණුවක යෙදෙමින් පොළොවේ ඉහල ස්ථානයක සිට පහලට පාවීගෙන එනවා. එහෙත් සුළු වෙලාවකින් අසාමාන්‍ය ලෙස ස්වාභාවික සංසිද්ධියකට ගොදුරුවන මේ කෙනා ඉහල වායුගෝලයේ ගුවන් යානා කෲස් කරන මට්ටමේ අහසේ පාවෙමින් ඉන්නවා. පැයක් පමණ එහෙම ඉඳලා මෙයා මහපොළොවේ පයගහද්දී නොමැරී පමණක් නොවේ සිහියෙන් ඉන්නේ. අදාළ වැඩේට අවශ්‍ය කිසිම යානයක් හෝ සුවිශේෂී ඇඳුමක් තිබිලා නැහැ. හැබැයි සුළු තුවාල කීපයකට වඩා දෙයක් වෙලා නැහැ. ඒ ගානෙන් බේරෙන්න පුදුමාකාර වාසනාවක් තියෙන්න ඕනේ. මේක ලෝකයේ වෙච්ච වාසනාවන්තම සිද්ධි අතරින් එකක්.

1. මේ කවුද?

2. වුනේ කොහෙද? මොන කාලේද?

3. මොකද්ද වුනේ? සිදු වූ ආකාරය විස්තර කරන්න.

4. වාසනාවන්ත කිව්වේ තිබ්බ අවදානම් මොනවගේ ඒවාද?

5. තවත් කෙනෙක් මීට පෙර තරමක් සමාන අත්දැකීමකට භාජනය වෙනවා. මේ දෙපොල බොහෝවිට ලෝකයේ එවැනි අත්දැකීමක් ලද එකම අයවලුන් ලෙස සලකන්න පුළුවන් [කන්ෆර්ම්ඩ් නැත] මේ අනිත් පුද්ගලයා කවුද? ඔහුගේ කතාව මොකද්ද?

---------------------------------------------------------------------------------------

ඊවා විස්නීස්කා [Ewa Wiśnierska ] කියන්නේ ජර්මන් පැරා ග්ලයිඩර් චැම්පියන් කෙනෙක්. ඇය හා ජර්මන් පිල පුහුණුවීම් සඳහා ඕස්ට්‍රේලියානු උස්බිම් වල තියෙන මැනිලා නම් නගරයට එනවා. පැරා ග්ලයිඩින් කියන්නේ උස්බිමක සිට පැරචූටයක ආධාරයෙන් පහලට යාම. පොළොවේ සිට මීටර සීයක් වගේ තමා වැඩිම උඩ යන්නේ.



ඊවා විස්නීස්කා [පින්තුරය  ගත්තේ මෙතනින්]

එදා එතන තරමක් කාලගුණ අර්බුදයක් තිබ්බත් මේ කට්ටිය ඒක ගණන් ගන්නේ නැහැ. ඊවා අහසේ ඉන්න කොට ස්ටෝම් සෙල් දෙකක් එකිනෙක ගැටෙනවා. මේක මහා භයානක දෙයක්. ඒ මොහොතේ ඒ කුනාටු වළාව විශාල අකුණු කුණාටුවක් හදන අතර ඊවා සහ තව පැරා ග්ලයිඩර් කෙනෙක් එය තුලට ඇදලා ගන්නවා. මෙතැන් සිට කතාව විද්‍යාත්මක දැනුමෙන් අනුමාන කෙරෙන සහ ඇගේ උපකරණ කියවීම් අනුව වුනා කියා හිතන දේ විනා කවුරුත් දැක්ක දෙයක් නොවේ.


අකුණු කුණාටු වලාකුළක්  එහෙමත්  නැත්නම්, Cumulonimbus cloud එකක් හෝ  එහිම  දියුණු  අවස්තාවක්  වන  Supercell එකක් සැලකුවොත්; අභ්‍යන්තරයේ ඉතා අඩු පීඩනයක් තියෙන්නේ [මේ වගේ ප්‍රබල එකක රික්තයකට ආසන්නයි]. ටෙනිස් බෝල සයිස් හේල් [අයිස් බෝල] වර්ෂාවක් වදිනවා. හිතා ගන්න බැරි තරම් විදුලි අකුණු ප්‍රමාණයක් එහා මෙහා වදිනවා. මෙහි වායුධාරාවේ ෆ්ලෝ එක තියෙන්නේ උඩට. පහත  පින්තුරය  ගත්තේ  මෙතනින්.



ඊවා මැරෙන්න තිබ්බ විධි ගණන හිතා ගන්න බැරි තරම්. අනික් කෙනා මැරෙනවා. මැරුණේ අකුණු වැදිලද හුස්ම හිරවෙලද කියලත් හොයන්න අමාරුයි.

ඊවාගේ වැදගත්ම වාසනාව නම් ඒ මොහොතේම ඇයගේ සිහිය නැතිවීමයි. ඒ නිසා අඩු පීඩනය තුල හුස්ම හිරවීම මගහැරෙනවා. ඊවා අධික වේගයකින් උඩට යනවා. ඉහළ නගින වායුධාරාවට හසුවන පැරචුටය රුවලක් වගේ එයාව ඇදගෙන යන්නේ. පැකිමි 70 වගේ වේගයෙන් ඉහලට ගිය බව උපකරණ වල සටහන් වෙනවා. වැඩේ කියන්නේ සිහි නැතිවෙච්ච ඊවා නිරුපද්‍රිතව කුණාටුවේ ඉහළ කටෙන් එලියට එන එකයි. මේ වෙද්දී ඇය කිමි දහයක් විතර උඩට ගිහින්. මීටර 9946 වාර්තා වෙනවා උපකරණ වල. මේ මුළු ගමනේම පැරචුටය නොකඩවා හේල් ප්‍රහාරයට ලක්වෙනවා. ඒ මත ලොකු අයිස් තට්ට්ටුවක් හැදෙන්න ඇති කියා හිතන්නේ. එහෙත් එය ඉරෙන්නේ හෝ හැකිළෙන්නේ නැහැ. ඊවාගේ පාලනය නැතුවට එය හැරෙන්නේ අසමතුලිත වන්නේත් නැහැ.

මේ ගුවන් යානා යන උස. එවරස්ට් ට වඩා කිලෝ මීටරයක් උසයි. මේ හරියේ හුස්ම ගන්න බැහැ. උෂ්ණත්වය සෙ -40 වගේ. සිහි නැති වූ සිරුර මෙම තත්වය දරා ගත්තේ කෙසේද කියා පැහැදිලි නැහැ. ඊවා විනාඩි 40 ක් විතර මේ උසේ පාවෙමින් ඉන්නවා. සිරුරේ දරා ගැනීමේ හැකියාව පුදුමාකාරයි. එහෙත් තව ටිකක් හිටියනම් ක්ලිනිකලි මරණයට පත්වෙන්න ඉඩ තිබ්බා.

ඊවාගේ ඊ ගාව වාසනාව නම් මොකක් හෝ හේතුවකට පැරචුටය හැකිලෙනවා. සමහර විට අයිස් වල බර නිසා. ඊවා වැටෙනවා නිදහස් ගුරුත්වය යටතේ. දැන් ගැටලුව සිහිසුන් ඊවා කෙලින්ම බිමට එන එක. එක්තරා වේගයක් ඉක්මවා ගියොත් මේ වර්ගයේ පැරචුටයක් දිගහැරගෙන බේරෙන්න අමාරුයි. පැරචුටය නැවත අහම්බෙන් දිග හැරෙන්නේ මේ වෙලාවේ. එහෙම වෙන්නේ ඇයි කියලා දන්නෙත් නැහැ.

ඊවා පාවෙවී පහලට එද්දී සිහිය එන්නේ කිමි හතක උඩදී.

සිහිය ආ ගමන් පළමු ප්‍රශ්නය සීතල. ඇය මාර දක්ෂ ග්ලයිඩර් කෙනෙක්. මේ අසීරු තත්වයේ ඇය හිතන්නේ මේ වේගෙන් ආවොත් සීතලට මැරෙනවා කියා. ඒ නිසා ඇය ස්පයිරල් කරගෙන වේගයෙන් පහලට එනවා. මේ වගේ වෙලාවක ක්ෂණිකව හරි දේ තීන්දු කරන එක මාර හැකියාවක්.

ඊවා නෝමල් පැරචුට් එකකින් වගේ බිමට එන්නේ දෙපා වලින්. ඊට පස්සේ ඇය ටීම් එකට කතා කර ජී පී එස් ඛණ්ඩාංක දෙනවා. භුමියේ කිමි බරගානක් දුර ගොස්. හොස්පිටල් ගියාම සීතල හා හේල් නිසා වූ සුළු තුවාල කීපයක් පමණයි. එදාම ගෙදරත් යවනවා. ඇය සතියකින් නැවත පුහුණු වීම පටන්ගන්නවා.

මේ සිද්ධිය 2007 දී වෙච්ච එකක්. මම මේක දැක්කේ රූපවාහිනී වාර්තා වැඩසටහනක. ඒක මෙන්න මේ යූටියුබ් එකෙන් බලාගන්න පුළුවන්. වීඩියෝව සත්‍ය සිද්ධිය වගේ ප්‍රතිනිර්මාණය කළ එකක්. සත්‍ය සිද්ධිය එහෙම රෙකෝඩ් වෙලා නැහැ [කැමරාවක් තිබිලා නැහැ ඇය සමග]

අනෙක් සිදුවීම විලියම් රැන්කින් නම් ෆයිටර් පයිලට් කෙනෙකුට  වෙන්නේ. 1960 විතර කාලේ ඔහු කුනාටුවකට අහුවෙනවා. එය මගහරින්න ඔහු අඩි 45000 මගී යානා යන උපරිමය දක්වා යනවා. මෙතැනදී ජෙට් එක නවතිනවා. ඔහු ඉජෙක්ට් කරගන්නවා. රැන්කින් ගේ පැරචුටය දිගහැරුනානම් ඔහුට හුස්ම ගන්න බැරුව මැරෙන්න තිබ්බා උස  වැඩි  නිසා. එහෙත් එසේ වන්නේ නැහැ. ඔහු වැටෙන්නේ පහල තියෙන  කුණාටුවට. පස්සේ පැරචුටය දිග හැරුනම ඔහු ඉහල  ධාරාවට  හසුවෙමින් කුණාටුවේ ඉහල පහල යමින් සැහෙන දුරක් ඒ එක්ක ගියාලු. ඔහු කියන්නේ දුටු විදුලි රේඛා අඩි ගණන් පළලයි කියා. එතරම් ආසන්නයේ ඒවා  වදින්නේ. රැන්කිනුත් නොමැරී බිමට එනවා.

Monday, April 20, 2015

ගොම මැටි

[තරමක් වෙනස් දෙයක්. මේ මම මුහුණු පොත් සමූහ කීපයකම දාපු සටහනක්]

දොළ පාර හරියේ පදිංචියට ඇවිත් දැන් අවුරුදු විස්සක්. අවුරුදුම විස්සක් !!! ඉස්තැන්තරිප්පුවේ ඉඳලා ආපු දවස මට තාම මතකයි, ජෙරමගේ බර කරත්තේ - අපි අටදෙනාම, ලට්ට ලොට්ට පොදි ගහගෙන - ඇඳන්, බේසන්, පනිට්ටුවයි, අකුලන ඇඳි පුටු දෙකයි, හැලි වළන්, තව පරණ තොටිල්ලකුත්. ඒ මදිවට එදා ගිනි ගහන රස්නේ දවසක්. පිපාසෙ කියලා වැඩක් නෑ. මග දිගට දිය කඩිත්තක් අහුවුනොත් ඒක අපි බීලම ඉවර කළා.

ඇඳි පුටු වලට පයින් ලීයෙන් තට්ටුව දැම්මේ තාත්තා. තාත්තා කළින් ම ගියා. මාස ගානකට කළින්. ගේ පොඩ්ඩක් හදලා ළිඳක් එහෙම කපන්න. වටේට ලෑලි ගහපු වහලට ලෑලි කෑලි අතුරපු, කාමර දෙකකට යන්තම් ඉඩ තියෙන ගෙයක්. කාමර දෙකවත් බෙදලා වෙන්කරලා තිබ්බේ නැහැ. මුලදී බිමට තිබ්බේ නිකම්ම මහ පොලොව. පස්සේ තාත්තා ලෙවල් වෙන්න පසුයි ගොමයි කවලම් කරලා ගෑවා. දිගටම මාසෙකට පාරක් එහෙම ගොමමැටි ගානවා. අලුත්ම ගොම ගෙනත්. එදාට පොළොව වෙලෙනකම් ඔක්කොම එළියේ තමා ඉන්න ඕනේ. දොරට අගුලු නැහැ. පොඩි කොක්කකින් බැඳගෙන ඉන්නේ රෑට. බිත්තිවල ලෑලි මැද්දෙන් අහලින් යන මිනිහෙක් හොඳට පේනවා. වහලේ ලී පතුරු අස්සෙන් පෙනෙන තාරුකා ගණන් කර කර මා යි ජෝ යි සෙල්ලම් කරනවා.

ආවට පස්සෙන්දා තාත්තා අම්මවයි අපිවයි අරගෙන ගියා බෑවුමෙන් එපිටහ වගා කරන්න හිතා ඉන්න තණකොළ ගොල්ලයි තැනිතලාවයි බලන්න. වැටක් වත් තිබ්බේ නැහැ. මිනින්දොරුවා සලකුණු දාපු ගහක් තමා සීමාව. පොලොව නම් සරුසාර ඇති, තාත්තගේ වැඩේම ඒක කියවන එක. අනික තව වටින ලී ගන්න පුළුවන් ගසුත් තියේලු. තාත්ත රත්‍රන් ගොඩක් පොලොව යට ඇති කියා හිතාන ඉන්න ගල් ගෙඩියකුත් පෙන්නුවා එහාපැත්තෙ වැටියේ. තාත්තට මාර විස්වාසයි වගේ. අපිනම් මොකුත් කිව්වේ නැහැ. ඒ වුණාට මා යි ජෝ යි හවස ගිහින් එතන ගල් ඔක්කොම පෙරලලා බැලුවා. තිබ්බ රත්තරනක් නැහැ.

මේක අමු කැලයක්. ගස් ඉවරයක් නැතුව. තලගොයි, දිරන කඳන්, වලස්සු. ළඟම ගෙදරට හැතැක්ම තුනක් !!! මේ මුල අවුරුදු කීපයේ ගෙදර තනියම ඉන්න ගෑණු උන්නේ කොහොමද කියලා මම තාම හිතනවා. ඇත්තෙන්ම අපේ අම්මා ඒ කාලේ දැන් ඔය පොඩි ලේන් එක යන තැන තිබ්බ කොටයක් උඩ වාඩිවෙලා පැය ගණන් අඬනවා මතකයි - තනිකරම පාළුව නිසා. පාලුයි කියන්නේ පට්ට ම පාලුයි !!!

------------------------------


මේ කෙටිකතාවක පළමු  පිටු දෙකේ පරිවර්තනය.  පසුබිම වන්නේ  බ්‍රිතාන්‍ය  ආණ්ඩුවෙන් ඉඩම්  බෙදා දීලා දුෂ්කර  පිටස්තර  කොලනියක  පදිංචියට  ගිය  ඕස්ට්‍රේලියානු පවුලක්.  නුපුරුදු  පරිවර්තන කර්තව්‍ය  එතනින්  නතර කරලා පුරුදු  විස්තරයට  බැස්සොත්;

මේ  කතාවේ  කියන්නේ  පහත  පින්තුරයේ  ජාතියේ ගෙයක්  ගැන.  
නිව් සවුත්  වේල්සයේ  ග්ලෙන්කෝ වල 1898 ගත්ත  ඒ  පින්තූරය  විකියෙන්



ඉස්තන්තරිප්පුව කියල ටිකක්  සිංහලකරණය  කරලා පරිවර්තනය කල  Stanthorpe කියන  ප්‍රාදේශීය  නගරය  තියෙන්නේ මෙන්න මෙතන.  ඒ කියන්නේ කතාව දිගහැරෙන්නේ ඔය  සිතියමේ  මාක්  එක  තියෙන  වටාපිටාවේ.





මම  මේක  පරිවර්තනය  කලේ  පොලොවට දමාපු  ගොමමැටි නිසා.  ඒ  හන්දාම  ලිව්වෙ ලංකාවේ  වගේ  හිතෙන්න. ඒ කාලේ මෙහෙත් ගොමමැටි හරිය. හොඳ දේවල් කාටත් වටිනවා. ගොමමැටි  විතරක්ම  නොවේ.  කතාවම  අපේ  රටේ  මේ  වගේ  අවස්ථාවකට  කෙතරම්  සමීපද?  නිකමට  හරි  ආණ්ඩුවෙන්  ඉඩම්  බෙදාපු  ගම්බද  කොලනියක  හිටපු  හෝ  ගිහින්  තියෙන කෙනෙක්  ඉන්නවා  නම් මාත්  එක්ක  එකඟ වේවි.

මේක අවුරදු 120 වගේ පරණ කෙටි කතාවක් පස්සේ නවල් එකක් වෙච්ච. ලේඛකයා ස්ටීල් රඩ්. කෙටි කතාව Starting the Selection පස්සේ හැදෙන  නවකතාව් On our Selection. දැන් බැලුවම මුළු නවල් එකම තියෙනවා වෙබ් එකේ.

On our Selection - Steele Rudd

ස්ටීල් රඩ්ගේ රචනා විලාශය කෙටි කතාවේ ප්‍රබේදයක් වන ස්කෙච් ස්ටෝරි හෙවත් සැකිලි කතා [සිංහල වචනය  මගේ  ගානේ - වඩාත්  නිවැරදි  එකක්  තියේනම්  කියන්න] ලෙස සලකන්න පුළුවන්. ඒ කතා වල ලොකු සිද්ධියක් නැහැ. කෙටි කතාවකටත් වඩා කුඩායි. කිසියම් රිද්මයකට එකතු කල සිද්ධි ගොඩක් විනා වෙන ලොකු දෙයක් නැහැ.

නොස්ටල්ජික
 බ්ලොග් ලියු කතන්දරකාරයා ඇතුළු බොහෝ බ්ලොග්කරුවන් මේ වර්ගයේ විස්සයි විස්සේ කෙටිමකෙටි කතා සම්ප්‍රදායක් හඳුන්වා දුන්න සිංහල බ්ලොග් අවකාශයේ. ඒ  බොහෝ  දෙනෙකුගේ  ජීවන අත්දැකීම් අලලා ලියැවුණු බ්ලොග්  නිර්මාණ  වැඩිහරියක් අයිති  වෙන්න ඕනේ ස්කෙච්  ජෙන්රියට.මේ ස්කෙච් එකෙත් ඔවුන් ට ආණ්ඩුවෙන් ඉඩම් ලැබිලා පදිංචිය පටන් ගත්ත හැටි ගැන කරන කතා සැකිල්ල පමණයි. වෙන මොකුත් නැහැ.
Steele Rudd.jpg

විකියෙන්  ගත්  ඉහත  පින්තුරයේ ඉන්න ලේඛක ස්ටීල් රඩ් ගේ සත්‍ය නම ආතර් ඩේවිස්. ඔහුත් මේ කතාවේ ඉන්න කතා නායකයා වගේම ක්වීන්ස්ලන්තේ ඔය කියන පළාතේම දුෂ්කර පැත්තක 
ආණ්ඩුවෙන් ඉඩමක් ලබාගෙන ගියපු [සිලෙක්ෂන් කියන්නේ  ඒකට] දුසිමක් සහෝදර සහෝදරියන් ඉන්න පවුලක කොලුවෙක්. අවුරුදු දොළහේදී අධ්‍යාපනයෙන් සමු ගෙන ගොවිපොලවල කුලියක් කර එදා වේලක් හොයා ගත්තු රඩ්, ක්‍රමයෙන් ගිණුම් තබන්නෙකු ලිපිකරුවෙකු ලෙස ඉදිරියට ඇවිත් අවසානයේ නීතිය පසිදන්නෙක් [උප ෂෙරිෆ් වරයෙක්] ඉඩම් බෙදාදීම මෙහෙයවන්නෙක් [සිලෙක්ටර් කෙනෙක්] දක්වා ඉහලට ගොස් තමා අතින් දුන් මරණ දඬුවමක් ගැන කලකිරී සේවයෙන් විශ්‍රාම යන්නේ.

ස්ටීල් රඩ් කියන අන්වර්ථ නාමයෙන් මේවා පත්තරේට ලියන්නේ වෘත්තීය ආරක්ෂාවට කියා කියන්නේ. මේක හෙළි වීම නිසා ඔහුගෙන් වෘත්තීය ලෙස පළිගත්ත කියා ඔහු හිතනවා. පස්සේ කාලෙක ආයිත් මේ ලේඛකයා ඉඩමක් අරගෙන වගා කටයුතු එහම කරනවා. ඇතැම් කාලවල බොහොම දුප්පත් අඩියට වැටිලා බොහෝ නිර්මාණ කුණු කොල්ලෙට දීලා දානවා.

කෙසේ වෙතත් ඔහුගේ නිර්මාණ බහුතරයක් මේ වගේ දුෂ්කර පළාත් වල මුල් යුගය ගැන ලියවුනු ස්කෙච්. මුලින් මුලින් එක එක තැන්වල වෙච්ච සිද්ධි ලෙස ලියවෙන ස්කෙච් එකතු කරලා සියල්ල එකම පවුලක කතාවක් කරලා නවල් එකක් කරන්නේ වෙනත් ලේඛකයන් ගේ උපදෙස් නිසා. මේ පවුල ඉබේම රඩ් පවුල කියා සැලකෙනවා. රඩ් මේ කතාපෙලේ නිර්මාණය කරන "තාත්තා" හා "ඩේව් (ලොකු අයියා)" දෙන්නා Dad and Dave ලෙස ඕස්ට්‍රේලියානු සාහිත්‍ය හා මිනිස් මතකයන් තුල සැහෙන ජනප්‍රියකමක් ලබා ගන්නවා.

රඩ් ගේ ජීවිතේ මේ කතාවල ඉන්න ගැමියා, ගොවියා, නිලධාරියා ආදී ඔක්කොම වල එකතුවක් ලෙස මේවායේ තියෙන දුක්ඛ දෝමනස්සයන් එක්ක ඒ පරිසරයේම ගෙවී ගිය ජීවිතයක්. නිර්මාණ හා සත්‍ය නොගැලවිය හැකි තරම් සූක්ෂම ලෙස බද්ධ වෙලා තියෙන්නේ.

Sunday, April 19, 2015

ලෝකයට අකුරු කියවීම

සාමාන්‍ය දැනීම සමූහයෙන් තවත් එකක්.

මේ ශිෂ්ටාචාරය විශාල භූමියක් ඇල්ලුවේ නැත. භූමියට අයිතිය කී වෙනත් අය සිටි නිසා ඔවුන් ඇල්ලුවේ මුහුදයි. මුහුදු ගමනට වැදගත් වන ස්ථාන වල නගර රාජධානි සදමින් ඔවුහු සාගරය තමන්ගේ පාලනයට ගත්හ. ඔවුන් සාගරය දිගේ කල විසිරීම සමකාලින විශාල ගොඩබිම් අධිරාජ්‍ය වල විසිරීමට වඩා වැඩිය.

එහෙත් මේ ශිෂ්ටාචාරය ලෝකයට දුන් වැදගත්ම දෙය වෙනකකි. එය මානවයාගේ අනාගතයට බිහි වූ වැදගත්ම නිර්මාණයකි. සමහර කල්පිත අනුව මුළු ලෝකයම ඒ අනුව හැඩ ගැසුණි. එය විවාදාත්මක වුවත් අඩුම ගානේ ලෝකයෙන් විශාල කලාපයකට එහි බලපෑම ඇතිවිය.

1. මෙම ශිෂ්ටාචාරය කුමක්ද?

2. ඔවුන්ගේ විසිරීම පැවතියේ කොහෙද?

3. ඔවුන් ගමනාගමනයට යොදාගත් වැදගත් යාත්‍රාවක් තියේ. එහි නම කුමක්ද?

4. මේ ශිෂ්ටාචාරය ලෝකයට දුන් වැදගත්ම තෑග්ග කුමක්ද?

------------------------------------------------------------------------------------------------------

මේ  කතා  කරන්නේ ෆිනිශියානුවන්  ගැන. ලෝක  ඉතිහාසය  මගේ  වෘත්තීය  විෂය  පථයට  සම්බන්ධ  නැති  නිසා  මෙතන  වැරදි  ඇති.  එසේ  වී නම්  පෙන්නා දෙන මෙන් ඉල්ලා  සිටිනවා.

ෆිනිශියානුවන්ගේ මුල් බිම ලෙබනනය. ෆිනිශියන් වරුන් සෙමිටික් [යුදෙව්] වාර්ගීකයන් පිරිසක්. ඔවුන් ගේ නගර හැදෙන්නේ සාගර ආශ්‍රිත ආරක්‍ෂිත තැනක [ලෙබනන උස්බිම් වලින් සෙසු භූමියෙන් වෙන්වූ මුහුදට නෙරාගිය බිම්කඩවල]. ගොඩබිමට ව්‍යාප්ත වෙන්න බැහැ මොකද කන්දෙන් අනිත් පැත්තේ තියෙන්නේ ලෝක ශිෂ්ටාචාරයේ තෝතැන්නක්. බැබිලෝනියන්, අකාදියන්, මිසර, අසිරියන්, මෙසපොතෙමියන් ආදී ශිෂ්ටාචාර විසින් ඒ හරිය තහවුරු කර තිබ්බේ.

අපි  මේ  කතා කරන්නේ  පොයුපෙ [BCE හෙවත් BC] 1500 - 500 විතර  කාලය  ගැන. විජයට  සහශ්‍රයකට  පෙර සිට  විජයගේ  කාලය  වෙනකම්  වගේ. ග්රීකයින්  බලවත්  වෙන්නෙත්, නගරයක් ලෙස රෝමය  හැදෙන්නෙත්  ඔවුන්ගේ  අවසාන කාලේ.  ඒ  අනුව  ෆිනිශියන්  වරු  සෙසු  ප්‍රබල යුරෝපා  ශිෂ්ටාචාරවලත්  මුලකාලේ  තමයි බලවත්  වෙන්නේ.

ඔවුන් ව්‍යාප්තියට තෝරන්නේ මධ්‍යධරණිය. මධ්‍යධරණිය දිගේ ගිහින් ඉතාම වැදගත් තැන්වල නගර තනමින් දැවැන්ත අධිරාජ්‍යයක් හදනවා. ඔවුන්ගේ නගර මධ්‍යධරනියේ අනික්  කෙලවරේ ජිබ්රෝල්ටා පමණ දක්වා විහිදෙනවා යුරෝපය දිගේ මෙන්ම අප්‍රිකාව දිගෙත්. දූපත් වලත්. මේ  මුළු  කලාපයේම වෙරළින්  වැඩි  හරියක් ඔවුන්ගේ  පාලනයට  යටත්ව පවතින්නේ.  හැබැයි  සාගරික  ප්‍රජාවක්  ලෙස  වෙළඳාම පාලනය  කරනවා මිසක ඇතුලට  පැතිරෙන්නේ  අඩුවෙන්.

ඒ  සම්මුතිය  කඩාගෙන  ගොඩබිමත් අල්ලාගෙන ටියුනීසියාවේ හැදෙන කාතෙජියන් අධිරාජ්‍ය පසුකාලින ෆිනිශියන් අධිරාජ්‍යයක්. හැනිබල් ගේ රට. කාතෙජියාව  පසුකාලින විශේෂ  අවස්තාවක්  ලෙස  සැලකුවොත්  සෙසු  අවස්ථා වල  තියෙන්නේ  වෙරළ  නගර  මූලික  වශයෙන්. මේ  නගර  එකිනෙකින්  ස්වාධීනව  තිබ්බේ.  හැබැයි  එකිනෙකා  එක්ක  සහයෝගෙන්  වෙළඳාම  කරගෙන  ගියා.  එනයින්  ෆිනිශියන්  ශිෂ්ටාචාරය අධිරාජ්‍යයකට  වඩා කොමන්වෙල්ත්  එකක්  වගේ.

ෆිනිශියානු සාගරික ශිෂ්ටාචාරය විකියෙන්  ගත්ත පහත පින්තුරේ බලන්න.



ෆිනිශියන් වරුන් මධ්‍යධරණිය ඉක්මවා ගිය බවත් රතු මුහුද ඔස්සේ ආසියාවට හා අප්‍රිකාව වටේ බටහිර අප්‍රිකාවට ගිය බවත් කියවෙනවා. කැමරූන් එක්ක පවා වෙළඳ සම්බන්ධ තිබ්බ බවට මත තියෙනවා.

මේ ගමන් සඳහා භාවිතා කලේ මිනිසුන් හබල් ගහන කුඩා නැව් වන ගැලිය හෙවත් බයිරීමය. පසුකාලීනව ෆිනිශියන් වරුන්ගෙන් පුරුදු වෙලා ග්රීකයින් රෝමයිනුත් ගමන් ගියේ හා යුද්ධ කලේ ගැලී වල.

ෆිනිශියානුවන් ලෝකෙට දුන්න වැදගත්ම දේ තමා කොන්සනන්ට්ස් හෙවත් ගතකුරු වලට සංකේත ලබා දී හදාපු පළමු සංවිධිත භාෂාව. ඊජිප්තු  හා පූර්ව ග්‍රීක  ශිෂ්ටාචාරවල  භාෂා  රටා  වැඩි  දියුණු  කිරීමෙන්  තමයි ෆිනිශියන්  වරු  මේ  අකුරු  ක්‍රමය  නිර්මාණය  කරන්නේ.


මීට පෙර භාෂා තිබ්බට ඒවායේ ලියමන් කෙරුනේ භෞතික ද්‍රව්‍ය වලට සංකේත දීමෙන්. රූපාක්ෂර කියන්නේ. මේක අමාරු වැඩක්. සරල මූලික දෙයක් ලිව්වට වැදගත් සාහිත්‍යයක් හැදෙන්න බැහැ. නිකමට  සිංහලෙන්  උදාහරණයක්  දුන්නොත් බල්ලට එක  සංකේතයක් - බෙල්ලට  තව  එකක්. මොකද බල්ල බෙල්ල දෙක  එකම  වගේ  කියවෙන  බව  රූපාක්ෂර භාෂාවෙන්  නිරුපනය කල  නොහැකියි. සංකේත  දෙන්නේ  නිරුපනය  කරන  ද්‍රව්‍යයට විනා  පිටවෙන  ශබ්දයට  නොවේ.

ෆිනිශියන් වරුන් සංකේත දුන්නේ මිනිස් කටින් පිටවෙන ශබ්ද වලට හෙවත් ගතකුරු වලට. කතා  කරද්දී ඒ  ශබ්ද  කීපයකින්  අපි  දෙයක්  නිරූපණය  කරනවා [බ - ල් - ලා වගේ]. ෆිනිශියන්  වරු ඒ ශබ්ද වල  සංකේත  එකට  ලිවීමෙන් හැදෙන  වචනය  ඒ  නිරූපනයට යොදාගත්ත. මැජික්  එකක්  නොවේ  මේ  අපි  දැන්  කරන දේ. ඒ  අනුව  සුළු  අක්ෂර  ගණනකින් මිනිස්  කථන  හැකියාව  නියෝජනය  කරලා  ඒ  අකුරු  මිශ්‍ර කර  හැදෙන  සංකරන  රාශියකින්  භෞතික ලෝකය  නිරූපණය  කළා.  දැන්  ලියන්න ලෙහෙසියි.

මීට  මද  කලකට පස්සේ ඉන්දියාවේත්  මේ  ගතකුරු  ක්‍රමය  ඇතිවෙනවා. සමහරු කියන හැටියට ඉන්දියාවේ ගතකුරු භාෂා හදන ආර්යනුත්  අසල්වැසි පර්සියානුවනුත් මේකෙන්ම තමා ආභාෂය ලැබුවේ. මේ කතාව විවාදාත්මකයි. ආර්යයන්  ඒ  පෙදෙසින්  ඉන්දියාව  කරා ආව කියා දැනට  හිතන  කාලේ වෙද්දී  ෆිනිශියානුන්  ප්‍රබලව  ඉඳලා  තියෙන  නිසා ආභාෂයක්  තියෙන්නත්  ඉඩ  තියෙනවා. මේක  හොයා ගන්න බැරි  වෙන්නේ ෆිනිශියන් යුගයට පෙර ලියවුනු සාහිත්‍යයක් නැති  නිසා.

වෙනස්  ක්‍රමයක් තියෙන්නේ චීන-ජපන්  කලාපයේ විතරයි හැමෝම දන්නා පරිදි ඒ කලාපයේ භාෂා රූප සංකේත වලින් විදාරණය වූවක්. ෆිනිශියන් මොඩලයේ  එකක් නොවේ. ඒ ඇරෙන්න ඉතිරි ලෝකයේ දියුණු වී ගිය භාෂා ෆිනිශියන් මූලයකින් එන බව එක මතයක්. අඩුම ගානේ යුරෝපයේ හා මැද පෙරදිග භාෂා වලටවත් මේක නිවැරදියි.

[ලෝකයට  අකුරු  කියවීම  කියල කැච් ෆ්රේස් එකක්  වගේ  දාපු මගේ  හෙඩිමත්  විවාදාත්මකයි - කිසියම්  කෙනෙක්  ඒ  ගැන  මට  කෝට්  මාෂල්  කරන්න හිතා  ඉන්නවනම්  ඔන්න මෙතනම  පිලිගන්නවා "ලෝකේ  කිව්වට  ලෝකෙම  නෙවෙයි"  කියලා :) ]

ග්‍රන්ථකරණය ආශ්‍රිත බිබ්ලෝ බිබ්ලියෝ බයිබල් වැනි වදන් වල මූලය එන්නේ බිබ්ලෝස් කියන ෆිනිශියානු නගර නාමයෙන්.

ෆිනිශියන්  වරුන්  ගේ  අවසානය  වන්නේ  කාරනා දෙකක්  නිසා.  එකක්  තමා මුහුදේ  පැතිරුණු  නිසා කවදාවත්  ලොකු  රටවල්  හැදිලා යුද්ධ කරන්න  හමුදා  හදාගන්නේ නැහැ [කාතේජියානුන්  හැරුණුවිට]. පස්සේ කාලේදී  ගොඩබිම උන්නු  අධිරාජ්‍ය  මුහුදට  ව්‍යාප්ත  වෙද්දී [එයාලත්  ෆිනිශියන් ගැලී කොපි  කරලා  ගැලී  හදද්දී] ෆිනිශියන්  බලය  ප්‍රමාණාත්මක  නැහැ පවතින්න.

මේ වෙද්දී ෆිනිශියන්  වරුන්  පර්සියාව වගේ  විශාල  අධිරාජ්‍ය  එක්ක  එකඟතා  ගිවිසුම්  ගහගෙන  පවතින්න උත්සහ  කරනවා. එහෙත්  ලෙබනනයේ  පවතින  මූලික  ෆිනිශියානු ශිෂ්ටාචාරය  වනසන්නේ  ඇලෙක්සැන්ඩර්, ෆිනිශියානුවන්  දිගටම සාමය  ඉල්ලද්දීත්  ඔහු  පහර  දෙන්නේ  එය  මිසර  නගර  සැකැස්මට  හැඩරුවින්  සමාන  තැනක්  නිසා මිසරයට  ගහන්න පෙර  හුරුවක්  ලෙස. ඇලෙක්සැන්ඩර්ගේ  බලහත්කාරයට  යටත්  නොවුණු නිසා   ෆිනිශියානුවන්ගේ  ප්‍රධානම  නගරය  වන සූර්  හෙවත්  ටයිරය  ඇල්ලු  පසු  පිරිමි සියල්ලන්  සමූලඝාතනය  කරනවා.

අන්තිමේදී  රෝමයට  අමතක  නොවෙන  පාඩමක්  උගැන්නු  එකේ  පලිය  ගන්න  රෝමන්කාරයෝ  කාතේජියාවත්  විනාශ  කලාම  ලෝකේ  ෆිනිශියානු  කියා දෙයක්  ඉතිරි  වී නැහැ. සියල්ල  මීට  වසර  දෙදාහකටත්  වඩා  ඉස්සරම  ඉවරයි.

මෙන්න ෆිනිශියන් නගර ලිස්ට් එක

Friday, April 17, 2015

ගඟක් වෙනුවෙන් වහල්කම් කල මිනිහෙක්

මේකත් සාමාන්‍ය දැනුම සමූහයෙන්. ටිකක් එඩිට් කරන්න වුනා මෙතනට ගන්න.

මෙය රටක දේශසීමාවෙන් ඇතුලට ඇවිත් රට මැද්දෙන් ගලාගෙන යන අතිවිශාල ගංගාවකි. හැබැයි එහි මූලය කිසිවෙක් නොදනියි. කඳු අතර ගැඹුරු නිම්නයකින් ඔබ්බට කිසිත් නොපෙනේ. අසල්වැසි දේශයක් හරහා ද වෙනත් විශාල ගංගාවක් ගලා යන බවට දැන ගන්නට ලැබේ. මෙම ගංගා දෙකම එකක්ද යන්න ගැටලුවකි. ඒ දෙක අතර පෙදෙස කොහෙත්ම ගවේෂණයට අපහසු ඉතා විශාල පෙදෙසකි.

ගැටලුව විසඳන්නට නම් අල්ලපු රටට ගොස් එහි ඇති ගඟෙහි පරීක්ෂණයක් කල යුතුය. එහෙත් ගංගාව හිමි භූමියේ පාලකයින්ට තම රටට ඇතුළු වීමට අල්ලපු රටේ මිනිස්සු ඉඩ දෙන්නේ නැත. මෙහිදී උපකාරයට එන්නේ මිනුම් ආයතනයේ සේවකයෙකි. ඔහු මේ සඳහා මෙහෙකරුවෙකු ලෙස වෙස්වලාගෙන පරීක්ෂණය කරන අරමුණින් අල්ලපු රටට යයි.

මෙහෙකරු වෙසින් ගිය ඔහුව ඔහුගේ ස්වාමියා ලෙස රඟපෑ මිනිසා වහලෙකු ලෙස විකිණීය. කාලයක් වහල්කම් කර කෙසේ හෝ මේ අබග්ගයෙන් ගැලවී අවසානයේ ඔහු තම ගමනේ ඉලක්කය සපුරා ගනියි.

අවාසනාවකට මේ මිනිසා පර්යේෂණය කරන විට ඔහුගේ ඉහල නිලධාරින් සියල්ල අතහැර දමා ගොසිනි. ඔහුගේ පර්යේෂණය සාර්ථක නොවේ. ගංගාවේ රහස හෙළිවන්නේ තවත් දශක ගණනකිනි.

1. මූලය සොයා ගන්නට උත්සහ කල ගංගාවේ නම කුමක්ද?

2. මේ අවංක හා සේවයට කැපවූ මිනිසා කවුද?

3. අනතුරුදායක ලෙස වෙස්වලාගෙන ඔහු ගිය රට කුමක්ද?

--------------------------------------------------------------------------------------------------------------

බ්‍රහ්මපුත්‍ර ගඟ තමයි කතාවේ මූලය. අද බංග්ලාදේශය හා ඉන්දියාව දෙරටට අයිති බ්‍රිතාන්‍ය ඉන්දීය කලාපයේ උන්නු ඉංග්‍රීසින් මේ  ගඟේ  මූලය  මොකද්ද  කියා ගවේෂණය  කරන්න උත්සහ  කළා. බ්‍රහ්මපුත්‍රගඟ දිගේ ඉහළට ගියාම ඔවුන් දුටුවේ කොහෙත්ම ඇතුළුවීමට අපහසු කඳුකර කලාපයක්. ඊට තරමක් දුරින් ටිබෙට් දේශය දිගේ විශාල ගංගාවක් ගලනවා Yarlung Tsangpo 
කියලා (ටිබෙට්: යාර් ලූන් ත්සන්පෝ, චීන: යාලු ශන්බු, කෙටියෙන් සන්පෝ ගඟ ලෙස ප්‍රකටයි) . 

බ්‍රිතාන්‍යයින් සැක කරනවා ගංගා දෙකම එකක් කියා. එහෙත් ගංගාවේ මුල සොයා ගිය බ්‍රිතාන්‍යයින් දැක්කේ ගැඹුරු කැනියන් එකක සැඟවෙන බවයි. ගඟදිගේ ඉහලට යන්න බැරිතරම් ඒ කලාපය අසීරු කලාපයක්. කැනියන් එක තියෙන්නේ ටිබෙටය තුල.

ඊ ගාව ඔප්ෂන් එක ටිබෙට් පැත්තෙන් පරීක්ෂණයක් හැටියට යමක් දාලා පහලින් එනවද බලන එක. නමුත් බ්‍රිතාන්‍ය ජාතිකයින් මේ කාලේ ටිබෙටය ආක්‍රමණය කරන නිසා ටිබෙට් අය ඔවුන්ට එන්න දෙන්නේ නැහැ. 
කැනියන් එක දක්වා ටිබෙටය දිගේ ගිය ගමනත් රහසිගත හා අනතුරුදායක මෙහෙයුමක්.

මේ වෙලාවේ ඉදිරිපත් වෙන්නේ සර්වේ දෙපාර්තමේන්තුවේ සේවය කල කින්තප් නම් සිකීම් ජාතිකයෙක් [නේපාලය ටිබෙටය හා භූතානය මැද තියෙන ඉන්දියාවට  අයිති සිකීම් වල මිනිස්සු පෙනුමෙන් තරමක් ටිබෙට් වගේ] කින්තප් මේ අනතුරුදායක වැඩේට සහභාගී වන්නේ හුදෙක් රාජකාරිය දේවකාරියක් සේ සලකන නිසාද, එහෙමත් නැතිනම් ඇත්තෙන්ම සත්‍යය සොයා ගන්න ඔහුට ඇති ගවේෂණ වුවමනාව නිසාද දන්නේ නැහැ. ගඟ දිගේ ඉහලට ගිය පළමු රහසිගත කණ්ඩායමේ සාමාජිකයෙක් කින්තප්.

බ්‍රිතාන්‍යයින් දෙවැනි ටිබෙට් මෙහෙයුමට කින්තප් ඇතුළු කරන්නේ චීන/ටිබෙට් ලාමා කෙනෙකුගේ සේවකයා හැටියට. මෙහෙයුමේ අරමුණ තමා විශේෂ සලකුණු යෙදු ලී කොට 500 ක් ගඟට දැමීම. ඒවා කලෙක්ට් කරන්න පහලින් වෙන ටීම් එකක් සෙට් වෙලා ඉන්නේ.

ඒත් ලාමා වරයා ඔහුව වහලෙක්/ප්‍රවේණිදාසයෙක් සේ විකුණා දානවා. වෙන ගැලවීමක් නොවූ තැන කින්තප් වසරක් පමණ වහල් සේවය කරනවා. සේවය හොඳ නිසා වැටුප් ලබන සේවකයෙකු ලෙස උසස් වීමක් ලබා තමන්ට හිමි පළමු නිවාඩුව ලබාගන්න මේ මිනිසා ඒ නිවාඩුව යොදා ගන්නේ අදාළ පර්යේෂනය වෙනුවෙන්.

පරීක්ෂණය ගැන ටිබෙටයේ ලාසාවෙන් එවන ලිපිය අතුරුදහන් වෙනවා. මෙහෙයුම කල බ්‍රිතාන්‍ය නිලධාරියා එතකොට ඉන්දියාවෙන් නික්ම ගොසින්. ඒ වෙද්දී කලෙක්ෂන් ටීම් එකත් අකුලා ගෙන ගිහින්. ඒ  මහන්සිය  සම්පුර්ණයෙන්ම "වතුරේ".

ඊට පස්සේ කින්තප් තව කාලයක් ටිබෙට් ලාමා ආරාමයකට අනුයුක්තව ආගමික ගමන් යන මුවාවෙන් ගඟ දිගේ කැනියන් එක අස්සේ යමින් තමාම නිර්ණය කරගන්නවා මේ ගංගා දෙක එකක් කියලා. ටිබෙටයෙන් පැන ගන්න ලැබෙන අවස්තාව යොදාගෙන ඉන්දියාවට එන ඔහු තම පර්යේෂණ ගැන ප්‍රසිද්ධ කලත් බ්‍රිතාන්‍ය භූ විද්‍යාඥයින් ඒවා නිවැරදි දත්ත ලෙස බාරගන්නේ නැහැ. තව වසර තිහකින් විතර තමා හොයා ගන්නේ ඇත්තෙන්ම ඒ බ්‍රහ්මපුත්‍ර ගංගාව කියලා. ඒත් ඒ වෙද්දී කින්තප්ට කිසිම ගරු නම්බුවක් ලැබෙන්නේ නැහැ.

මේ විකියෙන්  ගත්තු කින්තප් ගේ  පින්තුරයක්. මෙහෙයුමෙන්
 කාලෙකට  පස්සේ  ගත්ත  එකක්.




මීටර  තුන්දාහකට  වඩා ඉහලින්  ගලා එන සන්පෝ  ගඟ  පහල  බ්‍රහ්මපුත්‍ර  ගංගාවට සම්බන්ධ කරන  යාලු ශන්බු කැනියන්  එක ලෝකයේ  දිගම කැනියන් එකයි  එය  කොලරාඩෝ  ගංගාව හදන  ග්‍රෑන්ඩ්  කැනියන්  එකට  වඩා  ගොඩක්  ලොකුයි. යන්න අමාරු  තැනක්  නිසා ප්‍රකට  නැහැ. පහත පින්තුරේ  ගත්තේ  මෙතනින්Yaruzampbo-Grand-Canyon


ඒ වගේම ලෝකයේ  අධිකම  වර්ෂාපතනයක්  ලබන  කලාපයක වතුර  බස්සන විශාලම කඳු  පද්ධතියෙන් 90% කට  වඩා  වටේට ආවරණය  කරන සන්පෝ-බ්‍රහ්මපුත්‍ර-ජමුනා-ගංගා-යමුනා-පද්මා-මෙග්නා ගංගා පද්ධතිය  පුදුමාකාර  තැනක්.  බංග්ලාදේශයට මෙතරම් ගංවතුර ගලන එක  පුදුම  වෙන්න  කිසිම හේතුවක්  නොවේ.

පහත පින්තුරය හදා ගත්තේ  විකියෙන්  බාගත්ත එකකින්




පසු එකතුවක්:කින්තප්  ගැන  කීප  වතාවක්  විස්තර  හෙව්වත්  වැඩි  විස්තරයක්  තිබ්බේ  නැහැ.  අද  වාසනාවට  මේ  ලින්ක්  එක  ලැබුනා.  එය  ලැබුනේ  පෝස්ට්  එක  ලිව්වට  පස්සේ  නිසා,  මම  මේ  ගැන  ලියා තියෙන්නේ  බොහොම  කෙටි  සටහනක්  බව  ඒත්තු  ගියා.  කින්තප් ට පෙරත්  මේ  වගේ රහසිගත  මෙහෙයුම්  වලට  මිනිස්සු  යවපු  හැටි  එහි  කියන්නේ  මේ  ආකාරයට.

"The British, therefore, sent trained undercover agents with Mongoloid features to Tibet on espionage missions, their mandate being to gather as much knowledge of the region as possible. These “spies” were taught to speak the Tibetan language as also undertake basic survey work using improvised techniques and equipment, and record them as concisely as possible to aid memory. For instance, their normal disguise was that of a Tibetan lama; their prayer wheels each carried a prismatic compass hidden inside it, as also rolls of paper to keep notes. Instead of the 108 beads required by Tibetan tradition, their rosaries had only 100, so that they could easily count paces while thumbing the rosary beads!"

මම මේ  සටහන  වැඩිදුර  කියවන්න  මෙතන  දානවා.


The doughty little Sikkimese


දෙමුහුන් ප්‍රජාවක්

තවත් සාමාන්‍ය දැනීම සමූහයේ ප්‍රශ්නයක්

දෙරටක් යාකරන පාලමකි. වැදගත් කලාප දෙකක් යා කරන ප්‍රධාන ගොඩබිම් සම්බන්ධයයි. මේ පාලම නිසා එක රටක ප්‍රධාන නගරයකට බොහොම ලඟින් අනික් රටේ ග්‍රාමීය පලාතක් යා වීම නිසා නගරයේ වැසියෝ අනික් රටේ ග්‍රාමීය ප්‍රදේශයෙහි පදිංචි වූහ. මෙය අඩු මිලට පහසුවෙන් ප්‍රධාන නගරයට යන්න එන්න හැකි විදිහක් නිසාවෙනි. අද මේ දෙමුහුන් ප්‍රජාව හැඳින්වෙන්නේ පාලමට යෙදු නමිනි.

1. පාලම කුමක්ද?

2. යා කරන දෙරට සහ අදාළ ප්‍රධාන නගරය කුමක්ද?

--------------------------------------------------------------------


Øresund Bridge ඩෙන්මාක් වල කෝපන්හේගන් නගරයේ සිට ස්වීඩනයේ මැල්මෝ දක්වා බෝල්ටික් මුහුදේ මුවවිට හරහා දිවෙන උමගක් හා පාලමක්. මේ මගින් කෝපන් හේගන් නගර මධ්‍යයට ස්කන්ඩිනේවියා අර්ධද්වීපය සම්බන්ධ වන්නේ කිමි 12 වගේ දුරකින්.





ඩෙන්මාක් හා ස්වීඩනය යා කරන මේ පාළම යුරෝපය හා ස්කන්දිනේවියා 
අර්ධද්වීපය යා කරන ප්‍රධාන ගොඩබිම් මාර්ගයයි. එහෙම නැතිනම් බෝල්ටික් කලාපය අස්සෙන් වටේ යන්න වෙනවා.


ජනාකීර්ණ කෝපන්හේගන් නගර මධ්‍යයට අඩු දුරකින් සම්බන්ධ වන මැල්මෝ අවට ස්වීඩන් පෙදෙස ග්‍රාමීය යි. මේ නිසා පාළම හැදු  පසු  කෝපන්හේගන් මිනිස්සු ස්වීඩනයෙන් ඉඩම් ගත්තා. නගරය ආසන්නයේ අඩු මිලට ඉඩම් ලැබුන නිසා. යුරෝපය ෂෙන්ගෙන් තනි වීසා කලාපයක් නිසා තමයි මේක කළහැකි වුනේ.

වර්තමානයේ කෝපන්හේගන් වල රස්සා කරන ඩෙන්මාක් ජාතිකයන් සැහෙන්න මැල්මෝ වල ඉන්නවා. මේ අය හුදෙක් ඩෙන්මාක් ජාතිකයන් පමණක් නොවේ උදේ හවා කෝපන්හේගන් යන ඩෙන්මාක් වලින් යැපෙන අය. මේ අමුතු තත්වය නිසා මේ ප්‍රජාව සමහරුන් හඳුන්වන්නේ Øresund people, Øresund citizens, Øresund community වගේ නම් වලින්. මේ හැමෝටම Øresund නම ලැබෙන්නේ දෙරට අතර සමුද්‍ර සන්ධියට කිව්ව නම Øresund නිසා.

පාලම උමගට සම්බන්ධ  කරන්න කිමි 4 ක කෘතීම දූපතක්  හදනවා [පින්තුරේ පෙනෙන].  මේ  භුමිය  කිසිම  වාණිජ  වැඩකට  යොදා  ගන්නේ  නැහැ.  මාර්ග වලින් එලියට  ගිහින් එයට  ඇතුළු  වීමට  අවසර  ඇත්තේ ජීව  විද්‍යාඥයින්ට  පමණයි.  එය  පර්යේෂණයක්. ස්වාභාවික ලෙස කිසියම්  භූමියක ශාඛ හා සත්ව  ප්‍රජා  පැතිරෙන්නේ  කෙසේද  කියන  එක  ගැන. ඒ  නිසා  එහි  ගස්  සිටුවා  කෘතීම  පරිසරයක්  හදා  නැහැ.  කවදා  හෝ  දවසක  සුවිසල්  අභයභූමියක්  වේවි කියා හිතා  ඉන්නවා.

දෙමුහුන් 
Øresund  ප්‍රජාව  ප්‍රවාහනය  දියුණු වීමත්  එක්ක  දේශසීමා  අර්ථවිරහිත  වෙන  හෙට  දවස  ගැන  පෙර  නිමිත්තක්. 

Thursday, April 16, 2015

ලෙමුරියා හා හෝම්ලෑන්ඩ්

මේ සටහනට පාදක වන්නේ ස්ථාන දෙකකින් උපුටා ගන්න කරුණු. එකක් සාමාන්‍ය දැනීම සමුහයේ ගිය ප්‍රශ්නයක්. අනික තවත් සමූහයක  ඉස්මතු කල ප්‍රශ්නයක් [මේකට මට ලින්ක් එකක් සපයා  දුන්  ශානක  ඉරෝෂණ  පීරිස්  ට  ස්තුතියි]. 

සාමාන්‍ය දැනීම සමූහයේ ප්‍රශ්නය මෙතන දැම්මොත්.

1. කුමාරි කන්දම් කියන්නේ මොකද්ද?

2. ලෙමුරියා කියන්නේ මොකද්ද? එහි නම හැදුනේ කොහොමද?

3. ලෙමුරියා කුමාරි කන්දම් සමග ඇති සම්බන්ධය කුමක්ද?

4. මෙය ලංකාවේ දැවැන්ත දේශපාලන අර්බුධයකට දක්වන සම්බන්ධය කුමක්ද?

5. ලෙමුරියා සංකල්පයට සිදු වූයේ කුමක්ද?

---------------------------------------------------------------

කුමාරිකන්දම් කියන්නේ සංගම් සාහිතයේ තියෙන පැරණි රාජධානියක ජනප්‍රවාදයක්. මෙහි නම එන්නෙත් දකුණු ඉන්දියාවේ අති සුන්දර කන්‍යා කුමාරිකඳුවැටිය මූලිකව. වෙනත් බොහෝ ජනප්‍රවාද සේම මෙහිත් කියනවාලු කුමාරි කන්දම් රාජ්‍යය කන්‍යා කුමාරියේ සිට මේ මේ තරම් දුරට විහිදියේය කියලා. හරියට අර අටළොස් අක්ශෞභීනියක් සේනා වගේ මේකත් අතිශයෝක්තියෙන් දාපු අසාමාන්‍ය ඉලක්කම්. සත්‍ය අගයන් නොවේ. සත්‍ය අගයන් නොවේ කියන්නේ එහෙම හරි යන්න නම් මේක මැඩගස්කරය ආසන්නය දක්වා විහිදීම අත්‍යාවශ්‍ය නිසා.

ඉලක්කම් පැහැදිලිවම අසත්‍ය පමණක් නොවේ එහෙම එකක් තිබ්බ බවට වත් වෙනත් සාධක නැහැ. ලෝකයේ බොහෝ ප්‍රවාද සේම මෙහි ඇති කුමාරි කන්දම් මහා ශිෂ්ටාචාරයත් "මුහුදේ ගිලී ගියාය" කියන මතය තමා සමාජගත වන්නේ.

එහෙත් සමහර දකුණු ඉන්දියානුවන් මේවා අකුරටම විශ්වාස කරනවා.

මේ අතරේ ඉන්දියාවේ පර්යේෂණ බ්‍රිතාන්‍ය විද්‍යාර්ථින් 1880 විතර හොයා ගන්නවා මැඩගස්කරේ ඉන්න ලෙමු [ලීමර්]  කියන සුවිශේෂී ජෛව ප්‍රජාව පරිනාමිකව සමාන වන්නේ කේරලයේ ඉන්න වෙනත් සතුන් වර්ගයකට කියා. මෙතැනදී ගැටලුවක් එනවා මැඩගස්කරේ සතෙක් කොහොමද කේරලයේ සතෙකුට සමාන වෙන්නේ මේ ස්ථාන දෙක අතර මාර දුරයිනෙ කියා. [මේ 1880 මේ වෙද්දී මිනිස්සු දන්නේ නැහැ මහද්වීප පාවෙන බව. ඇත්තෙන්ම පස්සේ හොයා ගන්නවා ඉපැරණි ගොන්ද්වානාලන්තයේ මැඩගස්කර වෙරළ හා කේරල වෙරළ යාවී තිබ්බ බව]. මේ නිසා විද්වතුන් හිතනවා කිසියම් ගොඩබිමකින් මේ ස්ථාන දෙක යාවෙන්න ඇති කියා. මෙම ගොඩබිමට ඔවුන් නම දානවා "ලෙමුරියා" කියලා.

මේකට එකල පැවතී විද්වත් සමාජ වල පිළිගැනීමක් එනවා. ඒ ගිලී ගියා කියන ලොකු මහද්වීප ගැන මිනිස්සු තමන් රවටා හුන් කාලයක්.  නිකමට  බලන්න විකියෙන්  ගන්න  පහත  සටහන.  මේ  විද්වතුන්  තමන්ට  නොවැටහෙන  දේවල්  පැහැදිලි  කරන්න  "ගිලුනා"  කියා  මවා  ගත්ත  ගොඩබිම්.




දකුණු ඉන්දීය විද්වතුන් ලෙමුරියා = කුමාරි කන්දම් කියන සරල සමීකරණය තෘප්ත කරමින් "විද්යාත්මකව තහවුරු වන" දකුණු ඉන්දියාවේ සිට මැඩගස්කරය දක්වා පැතිරුණු දමිල රාජධානිය බෞතිස්ම කරගන්නේ මෙහෙම. පහත  දැක්වෙන්නේ විකියෙන්  ගත්ත  කුමාරි  කන්දම්  රාජ්‍යය  ගැන  විශ්වාසයේ  එන  දළ සටහන.


Kumari Kandam map.png

මේකට ලංකාවත් අයිතියි හැබැයි ඒ කාලේ කවුරුත් ඒ ගැන වොරීඩ් නැහැ.

මේ අතර ඉන්දියාව නිදහස ලබනවා. මැඩගස්කරය දක්වා විහිදුනු දෙමල රාජ්‍යය නැවත හදන්න දකුණු ඉන්දියාව පෙරට එනවා. එත් ක්‍රමෝපායේ ශූරයෙකු වන ජවහල්ලාල් නේරු ඒක ළදරු වියේදීම මරා දානවා. ඔහු ගෝව ආක්රමනය කර පෙන්නනවා බලෙන් ආවොත් දෙන්නේ මේක කියලා. නීතියකින් සම්මත කරනවා ඉන්දියාව බෙදන්න බැහැ කියලා. ඉන්දියානු දමිල රාජ්‍යය 60 දශකය වෙද්දී මැරෙනවා.

අන්න ඒ වෙලාවේ දකුණු ඉන්දීය උගතුන් ලංකාවේ දෙමළුන්ට විකුනනවා "ඔබත් කුමාරි කන්දම් වල අයමයි. ඔබේ හෝම්ලෑන්ඩ් එක ඉල්ලාගන්න" කියලා. වයිරසය ලංකාවට එන්නේ එහෙම. මේ කාලෙදිම එනම් 40-60 දශකවල සිංහලයා එක්ක සහෝදරත්වෙන් උන්නු දෙමල නායකයින් හෙමිහිට ඉන් ඉවත් වෙනවා. සහයෝගීතාවයට අකමැති මෝඩ සිංහලයින් ඒ දෙමළට කෙලින්න භාෂා පනත් ගෙනත් සමානත්වයෙන් සහෝදරත්වයෙන් ඉන්න ඕනේ එකා තවත් එහාට තල්ලු කරනවා.

ලංකාවේ ඇතිවුණු බෙදුම්වාදය ඇතිවුනේ මේක නිසා කියා මම කියන්නේ නැහැ. සිංහල ජාතිවාදයෙන් දෙමල අයට සැහෙන්න හිංසා කළා. ඒ වගේම අපේ මෑත කාලින ඉතිහාසය හරිම විචල්යයි. ඒත් දෙමල අය වෙනම රාජ්‍යයක් ඉල්ලන්න, විශේෂයෙන් විදවතුන් අතරින් එක මතයක් ලෙස බිමට කාන්දු වෙන්න මේ කුමාරි කන්දම් සංකල්පය බලපෑවා. සිංහලයින් විජයගෙන් පැවතේ කියන අභව්‍ය කතාවත් [හෙවත් ඊට පෙර උන්නු මිනිස්සුන්ට සිංහලයන්ගේ සම්බන්ධයක් නැහැ කියන එක] මේකට පොහොර දානවා. අදටත් දෙමල අය අතරේ මේ රටේ මුල් පදිංචි කරුවන් ඔවුන් කියා හිතා ගෙන ඉන්න අය ඉන්නවා. ඒ වගේම දකුණු ඉන්දියාවේ සමාජය තුල කුමාරි කන්දම් සිංහලයාගෙන් බේරාගන්න කියන මතය අදටත් සක්‍රීයයි. එයාලා මේ ගැන ලාංකික දමිලයින්ට වඩා දැඩි ලෙස අදහනවා.

වැදගත් ම කාරනාව මෙන්න මෙයා ඔක්කොම සෙල්ලම් වලට තිත තිබ්බ. 1912 දී එයා ගෙනෙන මහද්වීප පාවෙන කල්පිතය 50 දශකය වෙද්දී පිළිගැනෙනවා. ඒ නිසා විද්‍යාඥයින් දන්නවා කේරලය හා මැඩගස්කරය හාවී තිබ්බ බව. මහද්වීප ගිලීමේ කතා සාවද්‍ය කල්පිත ලෙස බැහැර කරනවා. ඉන්දීය සාගරය කිමි 3කට වඩා ගැඹුරුයි. අද අපි දන්නවා වසර දහස් ගානකදී ගොඩබිමක් කවදාවත් එහෙම ගිලිලා යන්නේ නැති වග. එහෙත් ඒ වෙනුවට ඉන්දියාව හා මැඩගස්කරය කාලයක් එකට හා වී පාවෙමින් ආපු බවත්, පස්සේ වෙන් වූ බවත් පිළිගැනෙනවා. මැඩගස්කර නැගෙනහිර වෙරළ ඉන්දීය බටහිර වෙරළට ගානට පූට්ටු වෙනවා.

තිසර  ලබාදුන්  මේ  පින්තුරයෙන්  පෙන්වන්නේ  ඒ  මහද්වීප  වෙන්වීම. වසර  මිලියන  එකසිය  තිහක්  අතීතයේ  තත්වය  ලෙස  තිසර  සඳහන්  කළ ඔය  පින්තුරයේ  ඉන්දියාව මැඩගස්කරයෙන්  ගැලවුණු  ගමන්ම  වගේ, ලංකාවේ  බටහිර  වෙරළ  ගිනිකොනදිග  මැඩගස්කරයට  පූට්ටු  වෙලා  තියෙන්නේ. ස්තුතිය  තිසරට.



ලෙමුරියා සංකල්පය මියගියත් ඒ වටා ගෙතුණු ලංකාව දමිළ හෝම්ලෑන්ඩ් කියන සංකල්පය තවමත් තියෙනවා. මිනිස්සු හරි කට්ටයි විවිධ සංකල්ප අරගෙන තමන්ගේ වාසියට හදා ගන්නත් මූලික සංකල්පය කඩා වැටුනම නොදන්නා සේ තමන්ගේ වැඩ සටහන අරගෙන යන්නත්.

එනයින් ලේමුරියා අමූලික බොරුවක්. හැබැයි ඒ මත ගොඩ නගා ලංකාවට දකුණු ඉන්දියාවෙන් එක්ස්පෝට් කල මිතිකල් හෝම්ලෑන්ඩ් තාමත් සක්‍රීයයි. අදත්  ඒක  ලාංකීය  දේශපාලනයේ  ඇහෙන  කතාවක්.

Wednesday, April 15, 2015

පුපුරා යන විල්

නැවත වරක් මේ සාමාන්‍ය දැනීම සමූහයේ අහපු ප්‍රශ්නයක්

ලෝකයේ ඇති ඉතාම භයානක ස්වාභාවික ව්‍යසනයකි. මෙහි ඇති දැඩි භයානක කම නම් කිසිම අනතුරු ඇඟවීමක් නොමැතිව සිදු වීමත් එයට ගොදුරු වන කලාපයේ කිසිවෙකුටත් ගැලවීමට නොහැකි වීමත් ය. සියල්ල සිදුවීමට යන්නේ ඉතා සුළු කාලයකි. අදාළ ප්‍රදේශයේ සියලු සත්තු [මිනිසා ඇතුළුව] මියයති.

මෙම ව්‍යසනය නිසා ජීවිත හානි සිද්ධ වන ක්‍රම දෙකක් පවතියි. එකකින් බේරුනත් අනිකෙන් බේරීමක් නොවේ.

එහෙත් එය ගැන අප එතරම් නොදන්නේ මෙය සිදුවන අවස්ථා ඉතා දුර්ලභ නිසාය. සමකාසන්නයේ පමණක් සිදුවිය හැකි සංසිද්ධියක් වන මෙය සිදුවියහැකි ස්ථාන [දැනට දන්නා පරිදි] ඇත්තේ තුනකි. මෑත ඉතිහාසයේ ඉන් දෙතැනක එම ව්‍යසනය සිදු විය. ඒ නිසා වූ විනාශය බියකරුය. එහෙත් තෙවන ස්ථානය ඒ දෙකටම වඩා බියකරු වන්නේ එහි විශාලත්වය අනික්වා මෙන් දෙදහස් ගුණයක් පමන නිසාය.

භුමියේ ලැබෙන සාධක අනුව කලින් කලට එම තෙවන ප්‍රදේශයේ සියලු සතුන් වඳවී ගොස් තිබේ. මීට හේතුව එම ව්‍යසනය සිදුවීම බව කියවේ. ඉතාම කෙටියෙන් කිව්වොත් මානවයා මුහුණ දෙන ලොකුම ව්‍යසනයක් එම ස්ථානයේ ඕනෑම මොහොතක සිදුවිය හැකිය.

1. මෙම ව්‍යසනයට කියන නම කුමක්ද?

2. සිදුවිය හැකි ස්ථාන ලෙස දැනට හඳුනා ගෙන තියෙන්නේ මොන ස්ථානද?

3. මරණ සිදුවෙන ක්‍රම දෙක මොනවාද?

4. මෑතකදී සිදුවූ අවස්ථා මොනවාද? ඒ අවස්ථාවල ඇති වූ සිද්ධි හා ජීවිත හානි කෙබඳුද?

5. මෙතෙක් සිදු නොවූ තෙවන ස්ථානයේ අනතුරුදායක කලාපයේ වෙසෙන ජනගහනය කොපමණ ද [දල වශයෙන්]?

[බෝනස්] 6. සමකාසන්නයේ පමණක් සිද්ධ වන්නේ ඇයි ?

----------------------------------------------------------------------------
ලිම්නික් ඉරප්ෂන් කියන්නේ මිරිදියේ සිදුවන විදාරණයක් කියන අර්ථයෙන්. [මෙය සමූහයේ  සාමාජික  උපාලි කන්නන්ගර මහතා පරිවර්තනය  කළා  ජලාධාර විදාරණය කියලා]. සරලව කිව්වොත් විලේ වතුර පිපිරී යාම.

වතුර පුපුරායන විල් තුනක් ලෝකේ තියෙනවා. 
කැමරූන් වල  න්යෝස් හා මොනෞන්, රුවන්ඩා හා ප්‍ර. කොන්ගෝ දේශ සීමාවේ කිවූ විල. මේ පිපිරීමට හේතු වන්නේ ජලයේ දියවී ඇති කාබන් ඩයොක්සයිඩ්. ගිනිකඳු වැනි ක්‍රියා නිසා පිටවන කාබන් ඩයොක්සයිඩ් ගැඹුරු විල් වල පතුලේ හිර වෙනවා. මීට හේතුව විලේ ඉහල ජලයෙන් එන පීඩනය නිසා බුබුලනය නොවීම. ඒ වෙනුවට පතුලේ වතුරේ දිය වෙනවා. ගිනිකඳු කුහර වල හැදුනු මේ විල් තුනම ඉතා ගැඹුරු ඒවා. මීටර 200 - 500 වගේ. ඉහල ජල තලය පියනක් සේ ක්‍රියා කරලා පීඩනය මගින් ඒ වායුව මුදාලීම වළකනවා. සමකාසන්න නොවන විල් වල ශීත කාලෙට ඉහල වතුර සිසිලනය වී බර වැඩි වීමෙන් තට්ටු දෙක මාරු වෙන නිසා වසරක් පාසා විලේ වායුව නිදහස් වුනත් මේ කියන විල් වල තට්ටු දෙක වෙන් වෙන්ව තියෙන්නේ.

කිසියම් ට්‍රිගර්  එකක්  ලැබුන  දාට  ඒ  කාබන්  ඩයොක්සයිඩ්  විලේ  සයිස් විශාල වායු  බුබුලක්  ලෙස  පුපුරා  යනවා.  

මේ සිදුවීමේදී හානිවන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමා පිපිරීමත් එක්ක එන රැල්ල හෙවත් සුනාමිය. පැතිරෙන දුර අඩු වුවත් විල අවට අති විශාල සුනාමියක් වෙනවා එය සාගරික සුනාමියකට වඩා බෙහෙවින් උසයි. ඊ ගාවට ඉහල නගින කාබන් ඩයොක්සයිඩ් තට්ටුවක් ලෙස බිම් මට්ටමට පැමිණීම. පැකිමි 100 වගේ වේගයෙන් එන නිසා සුනාමියෙන් බේරුනත් මේකෙන් නම් බේරෙන්න බැහැ.

ගිනිකඳු බහුල මේ කලාපයේ පොඩි පොඩි විෂවායු පිටවීම් නිසා මැරෙන එක සුලබයි. evil wind කියන අර්ථයෙන් ස්වාහිලි වලින් මසුකු කියන්නේ එවන් විෂවායු පිටවීමක්. ඒවා ලෝකේ පුරාම සිද්ධ වුනත් මෙහෙම විලේ එකතු වෙලා මහා පරිමාන මසුකු ඇතිකරමින් වතුර පුපුරා යන්නේ මේ ස්ථාන වල පමණයි.

1984 හා 1986 වසර වල මොනෞන් හා න්යෝස් පිපිරී ගියා. එයින් 37 හා 2000 ට මදක් අඩු ගණනක් ලෙස මිනිසුන් මිය ගියා. වඩාත් බියකරු වූ න්යෝස් පිපිරුම විලේ සිට කිමි 25 ක රවුමක සියලු සතුන් මරා දැම්මා. පිපිරීම නිසා විලේ ජලතළාව අඩි තුන්සිය ගානක් උඩට ස්ප්රින්කල් වුන බවත් සුනාමි අඩි සීයක් පමණ උස බවත් හිතනවා. අඩි විස්සක් විතර උස කාබන් ඩයොක්සයිඩ් වලාවකින් ඒ කිමි 25 රවුම පැය කීපයක් වසා ගත්ත. සිහි නැතිවී දිවි බේරාගත් කීපයක් මෙහි කෙලවරේ උන්න මිසක් වෙන කවුරුත් බේරුනේ නැහැ. පිපිරුමෙන් පස්සේ විලේ ජල මට්ටම මීටරයකින් පමණ අඩු වුනාලු, දියවූ වායුවෙන් 2/3 පමණ පිටවූ නිසා.

මේ කැමරූන් විල් දෙක ගැන පර්යේෂණ කල ප්‍රංශ ජාතිකයින් විල් දෙකේ වතුර කෘතිමව උඩට ඇදලා වායුහරණය කිරීම සාර්ථකව කරගෙන යන නිසා දැන් ලොකු අවදානමක් නැහැ.

දැන් ඔය කතා කලේ කිමි 1, 2 විතර දිග පළල කුඩා න්යෝස් විල ගැන. කිවූ විල වකිමි 2700 පමණ දැවැන්ත විලක්. න්යෝස වගේ 2000 ගුණයක් මතුපිටක්. න්යෝස් වගේ 200 ගුණයක කාබන් ඩයොක්සයිඩ් හා ඊට අමතරව මීතෙනුත් තියේලු. මිම්මක් ගන්න මෙහෙම හිතන්න. කිවූ විලේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ලොව පුරා සතියක ඛනිජ ඉන්ධන දහනයෙන් පිටවන තරම විතර. කිවූ විලේ මීතේන් වලින් ඉන්දියාවේ 2/3 බලශක්ති අවශ්‍යතා වසරක් තිස්සේ සපුරන්න පුළුවන්. මේක ඇත්තෙන්ම "බුදු අම්මෝ" තත්වයක්.

තත්වය ඩබල් වෙන්නේ කිවූ ලොකු විලක් නිසා ඒ වටේට නගර රාශියක් හැදෙන බැවින්. එහි ගැඹුර කොටස ආසන්නයේ ප්‍ර කොංගෝවේ ගොමා [ප්‍රසිද්ධයි බොහෝ විනාශයන්ට] හා රුවන්ඩාවේ ගිසේන්යි ඇතුළු නගර රාශියක් තියෙනවා. අනතුරට ලක්වන කලාපයේ මුළු ජනගහනය මිලියන දෙක ඉක්මවනවා. මිලියන දෙකක් මෙහෙම එක පාර මියයාමට ඉඩ තියෙන වෙනත් තැනක් නැති තරම්. අනික විල තියෙන්නේ මීටර 1500 වගේ මුහුදු  මට්ටමින් උඩ. මේ විල පිටාර යන්නේ ටන්ගනිකා විලට. ඒ නිසා ලොකු සුනාමියක් ආවොත් සැහෙන දුරක් පැතිරිලා ටන්ගනික  විලටත් ගිහින් අපිට හිතාගන්න බැරි ජීවිත විනාශයක් විය හැකියි. න්යෝස් විලේ අඩි සීයක් ආවානම් මේකේ කොපමණ උසක් ඒවිද කියන එකත් හිතා ගන්න බැහැ.

පර්යේෂණ කරන සමහරු කියන්නේ කිවූ විලේ ගැඹුර අනික් ඒවාට වඩා වැඩි නිසා විලේ "පියන" ඝනකමයි. ඒ නිසා අවුලක් නැහැ කියලා. එත් ෆොසිල සාධක බැලුවම වසර දහස් ගණනක කාල  පරිච්චේද වලින්  පෙන්නුම් කෙරෙන මහා පරිමාන  සත්ව  වඳවී  යාම්  [අර ඩයිනොසර් වගේ ඒවා] මේ කලාපයේ පෙන්නුම් කරනවා. විල පතුලේ යමහල් සක්‍රිය කලාපයක්. ආසන්නයේ මහා යමහල් දෙකක් [එකක් මේ ලඟදි පුපුරලා ගොමා නගරය හරහා ලාවා ගිහින් විල අයිනෙන් නැවතුනා] පතුලේ උෂ්ණත්වය ඉහල යාම හෝ වතුර තදින් සෙලවීම ප්‍රමාණවත් පියන කඩාගෙන එන්න. නායයාමක් පවා ඇති.

විල වායුහරණය කල හැකිද?  මේ දැවැන්ත විලට දැනෙන්න වායුහරනයක් කරගන්න ක්‍රමයක් නැතුව කාලයක් ගතවුනේ. අනික එසේ මුදා හැරියොත් ලෝක දේශගුණයට ලොකු අවුලක් අධික කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය නිසා. විල දෙපැත්තේ තියෙන දෙරට පහුගිය අවුරුදු පහේ මේ මිලියන ගානට වඩා මිනිස්සු මරා දැම්මා කැරලි වලින්ම. පර්යේෂණ කරන්නෙත් කාලෙන් කාලට යුද්ධ නිසා නතර කරමින්.

හැබැයි මේ තත්වය වෙනස් කරමින් දැනටමත් රුවන්ඩාව මීතේන් වලින් බලශක්ති නිපදවනවා. කිවූවොට් [KivuWatt] රුවන්ඩාවේ ක්‍රියාත්මක වන ජීව වායු විදුලි උත්පාදන සැලසුම. මේක කරන්නේ රුවන්ඩා රජයෙන් නොවුනත් රජය මීට උපරිම සහය දෙනවා. මේ ව්‍යාපෘතියට ආර්ථික ශක්තිය හා තාක්ෂනය නැතුව රුවන්ඩාව හිටියේ [රුවන්ඩාවට වැඩිය ආධාර දෙන්නෙත් නැහැ ට්‍රැක් රෙකෝඩ් එක හොඳ නැති නිසා]. ඒ වෙලාවේ සමාගමක් මේ සැලසුම ඉදිරිපත් කරලා ආයෝජකයන් හොයා ගත්තා. ඒ ආයෝජකයන් මෙහි මූල්‍ය අගය දුටුවත් බිය වූයේ අවිනිශ්චිත තත්ත්ව ගැන. එහෙත් ජාත්‍යන්තර ආධාර සංවිධාන ඔවුන්ට නිසි රක්ෂණ ලබා දුන්නා. ඒ අනුව අධික අවදානම මිටිගේට් කරන්න රක්ෂණ වලින් සහය ගෙන මූල්‍ය ආයෝජන වලින් දුවන මේ වර්ගයේ එකම ව්‍යාපෘතිය.

දැනට සැලසුම තියෙන්නේ මීතේන් වාර්ෂිකව එකතු වන ප්‍රමාණයට වඩා පරිභෝජනය කරන්න. ඒ හරහා හෙමි හෙමින් මීතේන් සාන්ද්‍රණය අඩු කරනවා. එසේ කරන්නේ ඒ වෙනුවට කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර දියවෙන්න ඉඩ ලැබෙන නිසා. මේ විලේ කාබන් ඩයොක්සයිඩ් මුදා හරින්න නොවේ සැලසුම් කරන්නේ දීර්ඝ කාලයක් රඳවා ගන්න. ඊට ඉඩ සලසා පාලිත තත්ව තුල මීතේන් සීමාසහිතව අදිනවා.

උපරිමය මෙගාවොට් සීයක් බලශක්තිය නිපදවන්නත් පුළුවන්ලු. දැනට හදලා තියෙන්නේ මෙවො 25යි [මුළු මීතේන් ධාරිතාවය ගිගාවොට් සීයක් වසරක් පුරා නිපදවන්න ප්‍රමාණවත්] ඉලක්කය වනුයේ රුවන්ඩාවේ බලශක්ති වෙළඳපොළට එය විකුනන්න. කඳුකර රටක් වුනාට රුවන්ඩාවේ දුවන්නේ ඩීසල් පවර්. එය තමා කලාපයේ බලශක්තියට වැඩියෙන්ම ඒකක මිලක් ගෙවන රට.

ව්‍යාපෘතියට අනතුරු බොහොමයි. ගිනිකඳු කලාපයක වීම, විල පිපිරීමේ අවදානම දෙරටේ අස්ථාවර කම වගේ දේවල් පමණක් නොවේ, ව්‍යාපෘතිය නිසා විල විෂ වීම, පරිසර හානි, හරිතාගාර වායු පිටවීම, ව්‍යාපෘතිය නිසා ම ට්‍රිගර් වී විල පුපුරා යාම ආදී ලෙස විවිධ අවුල් ගොඩක්. ඒ නිසා මේ ව්‍යාපෘතිය සීරුවට කරන්න ඕනේ වැඩියෙන් මීතේන් අදින්නත් බැහැ. ඒ නිසා සැලසුමෙන් එක පාර අවදානම් අඩු වන්නේ නැහැ. සියුම් විදිහට කරපු දිගුකාලින සැලසුම අගය කල යුතුයි.

හැබැයි දැන් දෙවන අදියරට ආයෝජන නැහැල්ලු.

Monday, April 13, 2015

ට්‍රිස්ටන් ද කුඥ්ඥ දිවයිනේ ඇනකික් සාමුහික සමාජය

කලකට පෙර විවීධ වෙනස් දූපත් ගැන කරගෙන ගිය සාමාන්‍ය දැනීම ප්‍රශ්න අතරින් එකක්.

ලොකු රටක යටතේ පාලනය වන මෙම දූපතේ ජනාවාස පටන් ගන්නේ යුරෝපා සම්භවය ඇති ජාතින් කීපයකින් ආපු මිනිසුන් සුළු පිරිසක්. මෙම හේතුව නිසා ඇති වූ ජෙනටික් බොට්ල් නෙක් එක පැහැදිලිව පෙනෙන්නේ දූපතෙ සියගානක ජනගහනයෙන් බාගෙකට එක්තරා රෝග තත්වයක් තියෙන නිසයි.

ධනවාදී රටක යටතේ පාලනය වුනාට මෙහි තියෙන්නේ සමාජවාදයට හුරු පාලනයක්. දේපොළ සියල්ල පොදුයි. අතිරික්ත ඉපයීම වලට සීමා දානවා. කෙනෙක් වැඩිය උපයන්න ගියොත් ඒවා අනිත් අයට ලැබෙන්න සලසනවා.

මෙයාලගේ භාෂාව ප්‍රධාන භාෂාවක ව්‍යුත්පන්න භාෂාවක්. හරියට සිංහලයෙන්ම ව්‍යුත්පන්න වූ වැදී බස වගේ. මේක ගැන කට්ටිය අධ්‍යනය කරනවා.

මීට ටික කලකට පෙර මේ දූපත වලට ඉහල අහසේ ඉතාම බලගතු රටක් මහා භයානක පර්යේෂණයක් කළා. සුද්දෝ හිටියට සුද්දන්ගේ රටක කොටසක් වුනාට මේ දූපතේ මිනිස්සු ගැන තඹේක මායිමක් කලේ නැහැ. කොටින්ම වසර ගානක් යනකම් ඔවුන් දන්නෙවත් නැහැ. පරීක්ෂණය සිතු ලෙසම හරි ගියා. පොඩි හරි වැරදීමක් වුනානම් ඔවුන් සමූලඝාතනය වෙන්න ඉඩ තිබ්බා. පුදුමය නම් ඔවුන්ව පාලනය කරන රට පවා මෙය දැන සිට ඔවුන්ගෙන් සැඟවීමයි.

සැහෙන කියවන්න වටින දූපත් සමූහයක්. මෙම දුපත් සමූහය කිසියම් භූගෝල විද්‍යාත්මක වාර්තාවකට හිමිකම් කියනවා.

1. මෙම දූපත් සමූහයට කියන නම කුමක්ද?

2. ඔවුන් අයිති ලොකු රට කුමක්ද?

3. ඔවුන් දරන ලෝක වාර්තාව කුමක්ද?

4. ජෙනටික් බොට්ල් නෙක් පෙන්නන රෝගාබාධය කුමක්ද?

5. ඔවුන් ගැන කිසිම අවධානයක් නැතුව පරීක්ෂණයක් කලේ කවුද?

6. ඒ පරීක්ෂණයේ නම කුමක්ද? කලේ මොකද්ද? බලා පොරොත්තුව වුනේ මොකද්ද?

---------------------------------

ට්‍රිස්ටන් දූපත් [හෙවත් ට්‍රිස්ටන් ද කුඥ්ඥ දූපත් - මෙය සොයාගත් කෙනාගේ නමයි] ජනාවාස වන්නේ ඇමරිකාවෙන් හා යුරෝපෙන් ආ පිරිසකගෙන්. මුල් ජනාවාස කරුවන් කීපයක් මියයන අතර දැනට ඉන්න මුළු ජනගහනය පැවතෙන්නේ මිනිසුන් හා ගැහැනුන් ඔක්කොම 11 දෙනෙක් ගෙන්. ඒ පිටස්තරයන්ට ඉඩම් ගන්න මාර අමාරු ලෙස සම්මුතියක් තියෙන නිසා. මින් තිදෙනෙක් ඇදුම රෝගීන් නිසා දැනට දූපතේ පවුල් අසූවක 297 න් බාගෙකට වඩා ඇදුම රෝගීන්. මේක ජෙනටික් බොට්ල් නෙක් වලට නියම උදාහරණයක්.

ඒ කාලෙම මෙය බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වෙනවා. ඉන් පස්සේ බ්‍රිතාන්‍ය ශාන්ත හෙලේනා දූපත් පාලනයේ කොටසක් ලෙස නම් කරනවා. දකුණු අත්ලාන්තික් හි පිහිටි මෙම ජනාවාසයට ආසන්නම ජනාවාසය ශාන්ත හෙලේනා කිමි 2430 ක්. ඊට පස්සේ දකුණු අප්‍රිකාව හා දකුණු ඇමරිකාව. ඇක්සෙස් දකුණු අප්‍රිකාවේ සිට නැවේ දින දහයක්. වෙන යා හැකි විදිහක් නැහැ. ගුවනින් යන්න බැහැ [හෙලිකොප්ටර් හැර]

මේ ලෝකයේ වෙනත් ජනාවාසයකට දුරින්ම පිහිටි ජනාවාසයයි. ඒ වාර්තාව ඊස්ටර් දූපත් වලට දාන වැරැදී දත්තයක් ප්‍රචලිතව තියෙනවා. එහෙත් ඔවුන්ට මීට වඩා ළඟ ජනාවාස තියෙනවා.



වකිමි දෙසිය ගානක ට්‍රිස්ටන් දූපතේ මීටර දෙදාස් ගානක පත ගිනි කන්දක් තියෙන්නේ. මේ ඔක්කොම වෙන්නේ ගිනිකඳු බඳේ.



ඉහත  පින්තුරයේ  පෙනෙන  සේ,  මීටර  දෙදාහක  කන්දේ  එක  පැත්තක තියෙන  ක්ලිෆ්  එකක  පහල  තැනිබිමේ  තමා  ඔක්කොම  මිනිස්  කටයුතු වෙන්නේ. පහලින්  තවත්  කෝණයක්.


මේ  දූපත  ජනාවාස දූපත්  වලින් ආනතිය  [මුදුනෙහි උස / වර්ගපලය] වැඩිම  දූපත. ඒක  මේ  මුහුදෙන්  දකින  කෝණයෙන්  පැහැදිලි  වෙනවා. මොන  වගේද  කිව්වොත්  කොළඹ  ඉඳලා  හෝමාගම  විතර  දුරක්  යද්දී කන්ද  එසවෙනවා  හෝටන්  තැන්න  ගානට.



දූපතේ ආගමික හා කලෙක්ටිවිස්ට් [සාමුහිකත්වය - සමාජවාදයට හුරු] ආර්ථිකය 1816 හදා ගන්නා සම්මුතියක්. තාම ඒක කඩලා නැහැ. රටේ සියලු දේපොළ අයිති හැමෝටම. පුද්ගලිකව හිමි වන්නේ ඉන්න ඉඩම පමණයි. වැඩිය හම්බු කරන එකට සීමා දා ගන්නවා. 
මේ කිසිවක් නීතියෙන් නොවේ වෙන්නේ සම්මුතියෙන් [විශාල දූපතක කුඩා පිරිසක් නිසා සම්පත් වැඩි ප්‍රමාණයක් පවතින බව සලකන්න] උදාහරණයකට එක සත්ව පට්ටියක් වැඩිය වර්ධනය වුනොත් එහි හිමිකරු සතුන් වැඩියෙන් මරා ගහනය පාලනය කරනවා මොකද අනිත් අයගේ සතුන්ට තණකොළ මදි වෙන නිසා.

ඔය දූපතේ පොඩි ඉඩමක් අරගෙන කැමති ආකාරෙට ගෙයක් හදාගෙන ඉන්න බැහැ. ඉඩම් අයිති කර ගන්න බැහැ. කවුන්සිලයෙන් දෙන එකක් පමණයි.

කවුන්සිලයෙන් දෙන රස්සාවක් කරන්න ඕනේ. මුදල් කියා දෙයක් තිබී නැහැ 1960 වෙනකම්. දැනුත් භාවිතයක් නැහැ. 


කිසිවක් නීතියක් හෝ බල කිරීමක් නොවේ. සම්මුතියක් පමණයි. නමට දුවන්නේ බ්‍රිතාන්‍ය නීතිය. එහෙත්  ඇත්ත  තත්වය ඇනකික් සමාජවාදයට ආසන්නම අවස්තාවක්.
පහත  කොටස  උපුටා  ගන්නේ  විකියෙන්.
Tristan da Cunha's residents managed their own affairs without any written laws, the project once entertained of providing them with a formal constitution having been deemed unnecessary. The inhabitants have been described as moral, religious, hospitable to strangers, well-mannered and industrious, healthy and long-lived. They lack intoxicating liquors and were said to commit no crimes. As of 2003, there have been no divorces. 

ඒ අනුව  දූපතේ  භාවිතයේ කිසිම  නීතියක්  නැහැ.  හැබැයි  අපරාධ  වෙන්නෙත්  නැහැ.  කිසිම  කෙනෙක්  අනිකාට  හිරිහැරයක්  කරන්නේ  නැහැ.  සියල්ල  සිය  කැමැත්තෙන්  බෙදා ගන්නවා. මේක අහම්බෙන් වෙච්ච දෙයක් නොවේ. වර්තමාන සෙට්ල්මන්ට් එක හදන විලියම් ග්ලාස් විසින් සැලසුම් කල එකක්. ග්ලාස් ගේ  පුංචි  සමාජවාදී  පරීක්ෂණය  කාල්  මාක්ස්ටත්  වඩා  අතීතේ  වෙන්නේ. සියවස් දෙකක් දිව්ව ක්‍රමයක්. 

මේක  සමාජවාදය  හෝ  කොමියුනිස්ට්වාදය  නොවේ  කියාත්  තර්ක  කලහැකියි. මේ  රට  යැපෙන්නේ  බ්‍රිතාන්‍ය  එය  නඩත්තු  කරන  නිසා. ඒ  හැරුණුවිට  ආදායම  එන්නේ  දකුණු  අප්‍රිකානු  ටින්මාළු  සමාගමක  ආයෝජනයක්  වන  ෆැක්ටරියක්  නිසා. අභ්‍යන්තර  මුදල්  භාවිතයක්  නැති  නිසා  මේ  සල්ලි  යන්නේ  රටට  අවශ්‍ය  දේවල්  පිටින්  ගෙන්නන්න.  නැව  ආවම  බඩු  පොදු  ස්ථානයක තියනවා.  හැමෝම  අවශ්‍ය  තරම  ගන්නවා.  එය තීන්දු  වන්නේ ඔක්කොටම  සමානව  බෙදෙන  හැටියට.  වැඩිපුර  ගන්නේ  නැහැ.  මිළක්  හෝ  ගෙවීමක්  නැහැ.

දූපත්වාසීන්  ක්රිස්තියානියත්  එක්ක  සමීපව  යන  පිරිසක්. ඒ  කාලේ  ආගම  හා සමාජවාදී  සංකල්ප  මිශ්‍රව  තිබ්බ  නිසා.  ආගම  එක  ප්‍රධාන්  හේතුවක්  මේ  මිනිසුන්ගේ යහපත්  කෑදර  නැති ජීවන  රටාවට.

දූපත පට්ට සිරා නැහැ. ඔවුන්ගේ දියුණුවක් නැහැ. තාම ලෙඩක් හැදුනොත් තුවාල වුනොත් දින දහයක් දකුණු අප්‍රිකාවට එන්න ඕනේ එකටත් කාගේ හරි නැවක් ඉල්ලගන්න ඕනේ. එක ඉස්කොලයයි බේසික් අධ්‍යාපනයක් විතරයි. දූපතට නෙට් ඇක්සෙස් දී ගන්න බැහැ ෆයිබර් ඔප්ටික්ස් මේන්ටේන් කරගන්න තේරෙන්නේ නැහැ. රූපවාහිනී  සේවයක්  පටන්ගන්නේ මේ  ලඟදි.

ජීවිතේ මාර සුන්දරයි කියා හිතෙන්නේ නම් නැහැ. හැබැයි වෙනස්. 
මේ  ක්‍රමය  දිව්වේ මේ දූපත තුල සාගත, රෝගාබාධ, ආර්ථික අර්බුද ආදී බොහෝ දේවල් පැතිර යද්දිත් බව අමතක කරන්න එපා. 

දූපතේ උන්නු බොහෝ දෙනා දූපත හැර ගියාලු අකමැති වෙන වෙලාවලදී. හැබැයි  සමහරු  ඊට  කැමතියි.  හැටේ  දශකයේ  ගිනි  කන්ද  පුපුරපු  නිසා දූපතේ  ජනතාව  එංගලන්තෙට  ගෙනියනවා වසර  කීපෙකට.  එහෙත්  තත්වය  සමනය  වූ  පසු  ඔවුන්ට  එංගලන්තේ  ඉන්න  හැකි  වුනත්  ආපහු  දූපතට  යනවා.  ඉන්න හෝ  නොඉන්න  එකට  කවදාවත්  බලපෑම්  කරන්නේ  නැහැ. "රාජ්‍යය"  කියන  සංකල්පය  නැති  නිසා.

භාෂාව ඉංග්‍රීසි හැබැයි යුරෝපා භාෂා ඇෆ්රිකානස් පරණ කාලේ ඉංග්‍රීසි ඔක්කොගෙම මිශ්‍රණයක්. මිනිස්සු එකිනෙකාට කතා කරන්නේ නික් නේම් වලින් ලු. මුන්ගේ භාෂාව මිනිස්සු හදාරනවා ක්රියෝල භාෂා වල හැසිරීම ගැන ඉගෙන ගන්න.

1958 ඇමරිකා එක්සත් ජනපදය ඉන්නේ සෝවියට් වරුන් එක්ක මර යුද්දෙක. ඒ වෙද්දී ඇමරිකාවට පට්ට ෂුවර් අරුන් ගහයි කියා ඒ නිසා උන්ට ඕනේ වෙනවා පොලොවට ඉහලින් වෙන න්‍යෂ්ටික පිපිරීමක ප්‍රතිපලය ලෙස වෑන් ඇලන් බෙල්ට් එක වගේ කෘතීම විකිරණ බෙල්ට් එකක් හැදිලා යට ඉන්න අය ව ශීල්ඩ් වේවිද කියා බලන්න. මේ හරියේ වෑන් ඇලන් එකේ පොඩි අමුත්තක් තියෙන නිසා හා අඩු ජනාවාස නිසා ඇමරිකාව පරීක්ෂණය කරන්නේ ට්‍රිස්ටන් ඉහල අහසේ කිමි 200 ක් උඩ. පරීක්ෂණය වැරදුනොත් දූපත බොහෝ විට සමූලඝාතනය වෙනවා. අඩුම ගානේ සැහෙන්න මැරිලා ඉතිරිය දුක් විඳියි. එහෙත් ඇමරිකාව හා බ්‍රිතාන්‍ය ජනාවාසය වෙනතැනකට  ගෙනියන්නේ නැහැ ලීක් වෙන නිසා. මිනිස් ජීවිත බල්ලට දාලා ඇමරිකාව වෝ හෙඩ් තුනක් පුපුරුවනවා කිමි 200 අහසේ. වෙලාවට ඒකෙන් ශීල්ඩ් එකක් හැදෙනවා. කාටවත් මොකුත් වූ බවක් දන්නේ නැහැ. දූපතේ බොහෝ දෙනෙක් තාමත් දන්නේ නැහැ මේ  ගැන. සෙසු  ලෝකයත් 
මේ පරීක්ෂණය ගැන වැඩිය දේවල් දන්නේ නැහැ. පරීක්ෂණයේ නම ආගස්.

වැඩිපුර:

Thursday, April 9, 2015

වෝල්ට්සින් මැටිල්ඩා

සාමාන්‍ය දැනුම සමූහයේ අහපු ප්‍රශ්නයකට දීපු පිළිතුරක්

Matilda කියන්නේ තැනින් තැනට යන කුලීකාරයාගේ ගමන් මල්ල.

හැබැයි  ගීතයේ  අර්ථය මතුපිටින්  පේනවට  වඩා ගැඹුරුයි. වෝල්ට්සින් මැටිල්ඩා ලියන්නේ කම්කරු අරගලයක සටන් කරුවෙක් අත් අඩංගුවට පත්වීම වලකන්න බිලබොන් [පොඩි දිය කඩිත්තක් හෝ කුඩා විලක්] ළඟදී වෙඩි තියාගෙන මැරුන නිසා. ඒ 
මෙන්න මේ බිලබොන් එක ළඟ. පින්තුරය විකියෙන්. 


මේ සින්දුව ඕස්ට්‍රේලියාවේ පණ වගේ වෙන්න හේතුවක් තියෙනවා.

මේක ලිව්වේ බැන්ජෝ පැටර්සන්. ගීය
 ලිව්වේ අදාළ සිද්ධිය වෙච්ච ෆාම් එකේම ඉඳගෙන ලු.  බැන්ජෝ  ඕස්ට්‍රේලියාවේ උන්නු දක්ෂතම කවියා වුනත් නොවුනත් ටක්කෙටම ජනප්‍රියම කවියා. බැන්ජෝ පිටිසර පැත්තක ඉපිද නගරයට ඇවිත් ලෝයර් කෙනෙක් වෙච්ච කෙනෙක්. බැන්ජෝ සිඩ්නි වල හිටියට ආත්මය තිබ්බේ බුෂ්ලෑන්ඩ් හෙවත් පිටිසර ශුෂ්ක වනගත පෙදෙස් වල. ඔහු නිතර යනවලු ගොවිපොළෙන් ගොවිපොළට අසු පිටේ. බැන්ජෝ කියන්නේ ඔහුගේ නික් නේම් එක. මුල කාලේ පත්තර වලට ලිව්වේ එහෙම [නිදහස් අදහස් නිසා සොලිසිටර් කම අහිමි වේ කියා බියෙන් ද දන්නේ නැහැ] ඒ නම ගන්නේ රේස් අශ්වයෙක්ගෙන්.

19 වන සියවසේ අග හරියේ ඕස්ට්‍රේලියානු කම මුලින්ම දැනෙන්නේ මේ පිටස්තර පැති වල උන්නු බැන්ජෝ වගේ අයට. නාගරිකයා දේවත්වයෙන් අදහපු බ්‍රිතාන්ය පද්ධතිය හා රැජින බැන්ජෝ වගේ ගම් වැස්සන් දැක්කේ අසරණයා හූරාකන යන්ත්‍රයක් ලෙස [මේ කාලේ යුරෝපය අඩුමිලට ශ්‍රම සූරාකාපු රටක් ඔස්ට්‍රේලියාව]. රට නිදහස් කරගන්න ඕනේ කියන අදහස මුලින්ම ආපු පරපුර ඔය. බැන්ජෝ සිඩ්නි ඇවිත් පත්තර වලට ලිව්ව යට හරය එයයි.

ගීතයේ වර්තමාන ස්වරූපය එන්නේ පසු කලෙක තේ කොළ දැන්වීමකට ගීය වෙනස් කලාට පස්සේ. පතපොත ට වඩා රේඩියෝවෙන් සමාජගතවෙච්ච ගීය එහි දැන්වීමේ ස්වරූපයෙන් තමා ප්‍රකට වෙන්නේ. ඊට තරමක් වෙනස්ව මේ බැන්ජෝ පලකළ ඔරිජිනල් බැලඩ් එක. ඔරිජිනල් කිව්වට පල කලේ මුලින්ම ලිව්ව එක නොවේ කියාත් කියනවා. ඔරිජිනලුත් කීපයක් වගේ.

උපුටනය විකියෙන්,

Oh there once was a swagman camped in the billabongs,
Under the shade of a Coolibah tree,
And he sang as he looked at the old billy boiling,
"Who'll come a waltzing Matilda with me?"
Chorus:
Who'll come a waltzing Matilda, my darling,
Who'll come a waltzing Matilda with me?
Waltzing Matilda and leading a water-bag,
Who'll come a waltzing Matilda with me?
Down came a jumbuck to drink at the waterhole,
Up jumped the swagman and grabbed him in glee,
And he sang as he put him away in the tucker-bag,
You'll come a waltzing Matilda with me.
(Chorus)
Up came the squatter a-riding his thoroughbred,
Up rose the troopers—one, two, a and three.
"Whose the jolly jumbuck you've got in the tucker-bag?
You'll come a waltzing Matilda with we."
(Chorus)
Up sprang the swagman and jumped in the waterhole,
Drowning himself by the Coolibah tree.
And his voice can be heard as it sings in the billabongs,
Who'll come a waltzing Matilda with me.
(Chorus)

දැන් මේ ගීය පුරා තියෙන්නේ පෙර කී නිදහසේ පණිවුඩය සරල කතාවක් අනුසාරයෙන්. ස්වැග්මෑන් හෙවත් පොට්ටනියක තම දේවල් දාගෙන ගමින් ගමට යන කුලී කාරයාට අනුන්ගේ ඉඩමකදී බැටළුවෙක් අහු වෙලා ආහාරයට ගන්න ඌව අල්ලාගෙන යන්න හදද්දී ඉඩම් හිමියා [ස්කොටර් - ඌත් ඉස්සර හොරාට ඉඩම අල්ලා ගත්තු එකෙක්] ඇවිදින් පොලිසියත් එක්ක පොට්ටනිකාරයා අල්ලන්න හදාපු එක. එතැනදී පොට්ටනි කාරයා බිලබෝන් එකට පැනලා මැරෙනවා. මාව උඹලට පණපිටින් ගන්න බැහැ කියා වහසි බසක් දෙනවා. ගීය තුල ඔහු වීරයෙක් වෙනවා. ඔහුගේ ආත්මය ඕස්ට්‍රේලියානු පොළොවේ දිය කඩිත්තක ඉඳන් තාමත් මුමුණනවා මාත් එක දුර ගමනට මල්ලත් අරගෙන වරෙන් කියා.

You'll come a Waltzing Matilda with me - කෙටියෙන් කිව්වොත් මේ කියන්නේ දුර ගමනක් යන්න බෑග් එකත් අරගෙන වරෙන් වගේ අර්ථයක් [ලිටරල් ම නොවේ හැරෙව්වේ]. මේ ගීය තුල මේ කෑල්ල එක එක තැන්වල එක එක අය අනිකාට කියනවා. ඒ ඒ තැන්වල අරුත වෙනස්. පොට්ටනිකාරය බැටලුවාට, ඉඩම් හිමිය පොට්ටනිකාරයාට, පොට්ටනිකාරයාගේ ආත්මය කියවන්නාට. මේවා පට්ට නිර්මාණ

දේශපාලනිකව බැන්ජෝ ලා මුල් යුගයේ පරිසරවාදින් ඒ වගේම රාජ්‍යය මිනිසුන්ගේ පොදු අයිතීන් වලට ඇඟිලි ගහනවට එරෙහි අය. බුෂ් ලෑන්ඩ් එක බුෂ් මෑන්ට දීලා මහා රාජිනියගේ කට්ටියට හා ඉඩම් හිමියන්ට යන්න කියාපු අය. බැන්ජෝ ලියු බොහෝ ගීත හා කතා වල ඒ දේශපාලනය යටිපෙලේ තියෙනවා. ඉඩමක  අයිතිය  එහි  ඉන්න  සතුන්ගේ  අයිතිය  එක  මිනිහෙකුට  නොවේ  කාටත්  මේවා  බෙදෙන්න ඕනේ  වගේ  අදහසක්.

2013 වසරේ පුවත් පතක ශ්‍රේෂ්ටතම ඕස්ට්‍රේලියානුවා ලෙස දක්ෂ පොලිටීශියන්ස් යුද්ධ කාලේ අගමැති වරු, ගවේශකයින්, හමුදා නායකයින් හා බ්‍රැඩ්මන් පවා පරදා ශ්‍රේෂ්ටතම ඕස්ට්‍රේලියානුවා ලෙස තේරුනේ බැන්ජෝ පැටර්සන්. ඒක පත්තරේ ලියන උන්ගේ පිස්සුවක් වෙන්නත් පුළුවන් එත් පැටර්සන් හා මේ ගීතය අමරණීයයි.

අදටත් මිනිස්සු ඔහුගේ පොත් ගන්න නිසා තාම මුද්‍රණය වෙනවා. පැටර්සන් මලේ 1941. මේ ගීය ඕස්ට්‍රේලියාවේ ජාතික ගීය තෝරණ තරගය පරාද වුවත් අදටත් ජාතික ගීයට සම සේ සලකනවා. ලෝකයේම ප්‍රචලිත ඕස්ට්‍රේලියානු නිර්මාණය මෙයයි.

ගීයේ තනුව නම් ස්කොට්ලන්ත බෑග් පයිප් කාරයින්ගෙන් උස්සපු එකක්ද කොහෙද? ඕක ලියන තැන හිටපු කෙල්ලක් එවෙලේ වාදනය කල එකක් ලු [බැන්ජෝ කොල්ලා කාලේ නේ]

බැන්ජෝ පස්සේ කාලෙක මේක වික්කලු ඇමරිකන් සමාගමකට ඩොලර් පහකට [රුපියල් පන්සීයකට] පස්සේ මේක ජාතික සලකුණක් වුනාට තාම කොපිරයිට් ඒ සමාගමේ. මේක ඔස්ට්‍රේලියාව නියෝජනය කරන ක්‍රීඩා ඉසව් වලදී ප්ලේ කරන්න ඔස්ට්‍රේලියාව ඒ සමාගමට ගෙවන්න ඕනෙලු. ඔන්න ඔහොමයි බැන්ජෝ ලා නිදහස වෙනුවෙන් පටන් ගත්ත වැඩ ඉවර වෙන්නේ.

ඩොලර්  දහයක අමරණීය  වන බැන්ජෝ පැටර්සන්



පින්තුරය  ගත්ත මෙතනින් තව  විස්තර  ගන්න පුළුවන්.
Andrew Barton (Banjo) Paterson

Wednesday, April 8, 2015

මෝර-කිඹුල් නගරය සහ කහට-දිවුල් අධිරාජ්‍යය

මුහුණු පොත් සාමාන්‍ය දැනුම සමූහයෙන් තවත් ප්‍රශ්නයක්. ටිකක් දිග ප්‍රශ්නයක් :)

මෝරා සහ කිඹුලා සතුරෝය. දිගින් දිගටම ඇවිලෙන මොර කිඹුල් සටන් වළකන්නට මෝරුන් හා කිඹුලන් අතර ගිවිසුමක් ගහන ලදී. මෝරාට මුහුදත් කිඹුලා ට ගොඩබිමත් වශයෙනි. එහෙත් එක් මෝරෙක් ගංගාවක් දිගේ රට ඇතුලට ආවේය. මෙය දුටු කිඹුලෙක් ඌට එරෙහි විය. ගංගාවල ඇත්තේ මුහුදේ මෙන්ම ජලය නිසා එය අයිති මෝරාට බව මෝරා කීවේය.ගංගා ගලන්නේ ගොඩබිම නිසා එය අයිති තමන්ට බව කිඹුලා කීවේය. දෙදෙනා අතර විශාල සටනක් හටගත්තේය. අවසානයේ මෝරුන් පරදා ගංගාවල අයිතිය කිඹුලා රැක ගත්තේය.

මෙය කිසියම් රටක පුරාවෘත්තයකි. අනාගතයේ වෙන්න තියෙන දෙයක් ගැන අතීතයේ පලකල අනාවැකියක් ලෙස සැලකේ. ඒ පුරාවෘත්තය අනුව සටන සිද්ධ වූ තැන මෝරාගේ හා කිඹුලාගේ නමින් නගරයක් බිහිව තිබේ. එය අද සුවිසල් නගරයකි

කෙසේ නමුත් කතාවේ දෙවෙනි කොටස සත්‍ය සිද්ධියකි, අනාවැකිය එලෙසින්ම සිදුවීමක් ලෙස සැලකේ. මෙම නගරය ආශ්‍රිත රාජධානිය අල්ලන්නට මහා අධිරාජ්‍යයක සුවිසල් හමුදාවක් ආවේය. මේ මොහොතේ එම රාජ්‍යය පාවා දෙමින් සතුරා සමග එක ගමක පාලකයෙක් ගිවිසුමක් ගැහුවේය. ගිවිසුම අනුව එක්ව සටන් කර රාජ්‍යය අල්ලාගෙන පසුව එය අධිරාජ්‍යය යටතේ ඔහුට හිමිවේ. සටන ජයගන්නට ආක්‍රමණිකයා සමත් විය. එහෙත් ගිවිසුම් ගැන ඇතිවූ ගැටලුවක් නිසා රට පාවා දුන් කෙනා පෙරලා ආක්‍රමණිකයාට පහර දුන්නේය. ඇතුළෙන්ම එල්ල වූ දෙවැනි ප්‍රහාරය හමුවේ ආක්‍රමණික සුවිසල් හමුදාව අසරණ විය. තවත් රැඳුනොත් ආපසු යා නොහෙන නිසාත් රෝගාබාධ හා මහන්සිය නිසාත් විශාල ජීවිත හානි සමග ඔවුන් එම රට අතහැර පලා ගියහ. එය එම අධිරාජ්‍යය ලද දුර්ලභ අන්ත පරාජයකි. ආක්‍රමණිකයා එලවූ මෙම පුද්ගලයා එම රට තම ගමේ නමින් අධිරාජ්‍යයක් දක්වා පුළුල් කොට වර්තමාන ලෝකයේ විශාල රාජ්‍යයක සීමා මායිම් සලකුණු කළේය. ඔහු අද දේවත්වයෙන් වන්දනා වේ.

1. මෙම කතා වලට පදනම වැටෙන ප්‍රදේශයේ මෝරා හා කිඹුලා නමින් නම්කළ නගරය කුමක්ද?

2. මෝරාගේ භූමිකාව රඟපෑ විශාල අධිරාජ්‍යය කුමක්ද? එහි එවකට අධිරාජයා කවුද?

3. කිඹුලා ගේ භූමිකාව රඟපෑ පුද්ගලයාගේ නම කුමක්ද? [නම් බරගානක් තියේ]

4. ගමේ නමින් බිහිකළ අධිරාජ්‍යය කුමක්ද? අද එම අධිරාජ්‍යය සීමා මත බිහිවී ඇති රට කුමක්ද?

[බෝනස්] 5. අදාළ කතාවේ වීරයා ආක්‍රමණිකයා එළවා රාජාභිෂේක ලබද්දී තමන්ට පනවා ගත් රාජනාමය කුමක්ද?

___________________________________________________

පින්තූර  සේරම  ගත්තේ  විකියෙන් 



මෝර-කිඹුල් සටන ගැන පුරාවෘතය පො යු 11 සියවසේ උන්නු අමුතු මානසික බලයක් සහිත රජකෙනෙක් කියූ අනාවැකියක් ලු. මේ අනාවැකිය සත්‍ය වූයේ කියා හිතෙන තැන තමා සුරාබයා නගරය හැදෙන්නේ. මෝරා-සුරෝ, හා කිඹුලා-බයෝ නිසා ඒ නම දැම්මා කියා ජනප්‍රවාද කියන්නේ. නගරයේ සංකේත වල මේ සත්තු දෙන්නා ඉන්නවා. සුරාබයා එස්ටුවාරියක තියෙන්නේ. ඒ නිසා අර්ධ ලවන දියේ මේ සතුන් දෙදෙනා අතර නිතර ගැටුම් වෙන්න ඇති. නැගෙනහිර ජාවා රාජ්‍ය වලට අයිතිව තිබ්බ සුරාබයා නගරය ඉන්දුනීසියාවේ දෙවැනි විශාල නගරය. මෙට්‍රෝ ජනගහනය මි 5 ට වැඩියි [කොළඹට වඩා ලොකුයි]



කුබ්ලායි ඛාන් ජාවා අධිරාජ්‍ය ගැන දැනගෙන සුමාත්‍රා වල රාජ්‍යය තමන්ගේ වෙසල් එකක් හෙවත් යටහත් රාජ්‍යයක් කරගෙන නැගෙනහිර ජාවා රටට තානාපතියෙක් එවනවා. සාමාන්‍යයෙන් පනිවුඩය වන්නේ අපේ මහා අධිරාජයාගේ බලය පිළිගෙන අපට පඬුරු සපයන යටහත් රාජ්‍යයක් වෙයන් කියන එක [යටත් වීම හැරෙන්න වෙනත් එකක් මොංගල් වරුන් දෙන්නේ නැහැ]. මේ මොහොතේ නැගෙනහිර ජාවා රජු මේ තානාපතියට කුරිරු වද දීලා ආපහු එවනවා. එය කුබ්ලායි ට යුධ ප්‍රකාශ කිරීමක් තමා.

කුබ්ලායි සෙන්පතිවරුන් තිදෙනෙක් යටතේ නැව් දහසක බල ඇණියක් එවනවා වසරක සප්ලයි එක්ක. 30000 වගේ ගානක් කියා කියන්නේ. මීට සුමාත්‍රා යටත් රාජ්‍යයේ පිරිසකුත් එකතු වෙනවා. මේක ඒ කාලේ මාර ලොකු හමුදාවක්.

මේ අතරේ නැගෙනහිර ජාවා දේශයේ අභ්‍යන්තර ආරවුලකින් රජු මරා රජපවුලේ කෙනෙක් රජ වෙනවා. ඔහු පෙර රජුගේ ඥාතින් එහෙට මෙහෙට එළවා දමනවා. කතා නායක වන රාදෙන් විජය ව යවන්නේ වනාන්තරෙකට. මේ වනන්තරේ හෙළි කරගෙන ගමක් හදාගෙන ඉනේ. ගමේ නම තමා මාජාපහිත්, වනන්තරේ පලතුරු වර්ගයක [දිවුල් - මාජාපහිත් කියන්නේ "දිවුල්-කහට" වගේ නමක්] නමින් එන්නේ.

මොංගල් ආක්රමනය ගැන දැනගන්නා රාදෙන් ඊට පෙරම අලුත් රජුට එරෙහිව කැරලි ගහලා මොංගල් හමුදාවට එකතු වෙනවා. මොන්ගලයින් යටතේ යටහත් රාජ්‍යයක් ලෙස ඔහු රජවීමයි එකඟතාවය වනුයේ. ඔහුට සහය දෙන මොන්ගලයින් එක්ක ඔහු රජුව මරනවා. හැබැයි ඊට පස්සේ ඔහු හා මොන්ගලයින් අතර ගැටුම් ඇතිවෙනවා. ඇත්තෙන්ම අභිෂේකයට නිරායුධව එන ලෙස ඔහුගේ ආරාධනයෙන් ආපු මොන්ගලයින්ට පහර දෙන රාදෙන් පෙරලා පැමිණ මොංගල් හමුදාවට හදිසි පහරදීමක් කරනවා. මේ අනපේක්ෂිත පහරදීම වෙද්දී ඔවුන් සමකාසන්න රෝග වලින් හා දිගු ගමනේ මහන්සියෙන් පීඩාවට පත්වෙලා ඉන්නේ. අනික ප්‍රහාරයත් එක්ක සටනට දිගටම ගියොත් ආපහු චීනයට යන්න අවශ්‍ය සුලන් නතර වෙන නිසා මොංගල් වරුන් වසරකට මදක් අඩු කාලයක් මේ දූපතේ හිරවෙන්න සිද්ධවෙන්න පුළුවන්. ඒ නිසා සැහෙන ජීවිත හානි එක්ක පරදී පලා යාම පමණයි කල හැකි වන්නේ.

මෙය කුබ්ලායි ඛාන් ට මෙන්ම මොංගල් අධිරාජ්‍යයටද ලැබුණු ලොකුම පරාජයක්. ආපහු ආවම සෙන්පතියන්ට දැඩි දඬුවම් විඳින්න වෙනවා.

රාදෙන් විජය Kertarajasa Jayawardhana නමින් රජවෙනවා. ඔහු රාජ්‍යය වටේටම පතුරනවා. ජාවා දූපතේ නැගෙනහිරින් පටන් ගන්න ඔහුගේ අධිරාජ්‍යය ඉවර වන්නේ වර්තමාන ඉන්දුනීසියාවට අමතරව මැලේසියාවේ හා තායිලන්තයේ කොටසුත් අල්ලාගෙන. නිව්ගිනි දූපතේ කොටසක් බාලි දූපත සිංගප්පුරුව බෝනියෝ සුමාත්‍රා ආදී ලෙස ඔහු හදන මාජාපහිත් අති විශාල අධිරාජ්‍යයක්. මේක මුස්ලිම්කරණය හා ඊට පස්සේ ලන්දේසින් එන්න ලං වෙනකම්ම පවතිනවා. වර්තමාන ඉන්දුනීසියාව ආසන්නව සමාන වන්නේ මේ මාජාපහිත් අධිරාජ්‍යට. සුකර්ණෝ බලය යොදා නිව්ගිනි දූපත අල්ලන්නේ [ඉරියන් ජයා] මේ අයිතිය මතයි. අද බාලි දූපතේ හරිහරා දෙවියන්ගේ නැවත ඉපදීමක් ලෙස රාදෙන් විජය සැලකෙනවා.



ටෙරා ප්‍රිටා

මුහුණු පොත් සාමාන්‍ය දැනුම සමූහයෙන් තවත් ප්‍රශ්නයක්. මේක තරමක් විවාදයට ලක්වූ මාතෘකාවක්. මේ ගැන වෙනස් මත තියෙනවා

ජීවත් වෙන්නට අසීරු පරිසරයක හුන් මෙම ජන කොටස කොහෙත්ම වගා කළ නොහැකි එම බිමෙහි සෞභාග්‍යමත් ශිෂ්ටාචාරයක් බිහි කිරීම සඳහා විශේෂ පාංශු වර්ගයක් භාවිතා කරන ලදී. අවට කොහෙවත් නැති ඒ පාංශු ඔවුන් විසින් නිර්මාණය කරන ලද්දකි. ඒවායේ ශක්‍යතාවය කෙතරම්ද යත් වර්තමාන මිනිස්සු ඒවා හාරා පොහොර ලෙස විකුණති.

මේ හැකියාව නිසා ඔවුහු නොසිතන තැනක මහා නගර තැනූහ. දැවැන්ත ශිෂ්ටාචාරයක් බිහි කළහ. එහෙත් ක්ෂණයකින් සියල්ල නැති වී ගියේය. පසුකාලීනව ඔවුන් සොයා ගිය බොහෝ දෙනෙකුට අත්වූයේ කනගාටුදායක ඉරණමකි.

1. හරියටම තවම නමක් නැති මේ ප්‍රජාව කවුද?

2. ඔවුන්ට සිද්ධ වූ බවට පිළි ගැනේන්නේ කුමක්ද?

3. ඔවුන්ගෙන් ශේෂ වූ ප්‍රජාව ලෙස සැලකෙන්නේ කවුද?

4. ඔවුන් අපට ඉතිරි කර ගිය අදටත් විද්‍යාගාරයක තනා ගන්න බැරිව දඟලන විශ්මය දනවන පාංශු වර්ගය කුමක්ද?

_________________________________________________

ඇමසන් වනයේ සැඟවුණු නගරයක් තියේ කියා මුලින්ම කියන්නේ පළමු ස්පාඥ්ඥ ගවේශකයින්. ඉතාම දියුණු මේ නගරයේ රත්තරන් තියෙන බවත් කියවෙනවා. එල් දොරාඩෝ කියල නමකුත් දානවා. ඇමසන් ගඟ හොයා ගත්ත ෆ්රැන්සිස්කෝ ඔර්ලනි මේ නගරය දැක්ක කියනවා. යුරෝපයේ නගර පරදවන තරම් ලොකුයි කියලත් කියනවා [පොඩ්ඩක් අතින් දාපු කෙනෙක් ඔර්ලානි]. පොර නගරය හොයන්න ආපහු එන ගමනේදී ඇමසන් මුවවිටේදී මියයනවා.

ඊටපස්සේ සිය ගානක් යනවා එල් දොරාඩෝ හොයන්න. හොයා ගොස් මැරෙනවා පසු කාලෙක ඇමසන් වල මිනුම් කරන පර්සි ෆෝසේ මේ නගරය තියේ කියා ස්ථිරවම තැනක හිතාගෙන තමන්ගේ පුතත් එක්ක යනවා. ඒ අයට වුන දෙයක් අදටත් දාන්නේ නැහැ. එයා ලියන්නේ Z නගරය කියලා ඒකට. එයා ෆොලෝ කරන්නේ පෙර අයගේ වාර්තා

කවුරුත් පිළිගන්නේ නැහැ ඇමසන් අස්සේ නගර තියෙන බව. ඒ පසේ වගා කල නොහැකියි. පස සුදුසු මහා ගස් වලට. එමෙන්ම නිසරුතණබිම්. සත්තුත් නැහැ. ඒ නිසා ශිෂ්ටාචාරයක් හැදෙන්න බැහැ කියල කියන්නේ.

ඒත් ෆෝසේ අතුරුදහන් වෙච්ච තැනම පොලොව යට වැළලුනු නගරයක් හමුවෙනවා. kuhikugu කියන ඒ නගරයේ දහස ගානක් හෝ ලක්ෂ ගානක් උන්නු බවයි කියන්නේ. මෙය සමහරු කොන්ස්තන්තිනෝපලය ලන්ඩන් එක්කත් සංසන්දනය කරනවා. සැලසුම් කල නගරයක් කිසියම් ජ්‍යාමිතික සකස්මකට. පාරවල් හා විශාල පාලම එහෙමත් තිබ්බ බවට මුල් කාලේ වාර්තා වල කියන්නේ

නගරය හා ශිෂ්ටාචාරය ගැන තාම දාන්නේ ටිකයි. ඒත් මුළු ඇමසන් කැලෑව පුරාම මෙහෙම තැන් හමු වෙන්න පටන්ගෙන.

මේ අය මිය යන්නේ ඇයි? පළමු ස්පාඥ්ඥ වාර්තා වල මේ නගර ගැන කියවෙනවා. ඒත් පස්සේ ගියපු අයට හෝඩුවාවක් වත් ලැබෙන්නේ නැහැ. බොහෝ දෙනෙක් හිතන්නේ පළමු ස්පාඥ්ඥ හමුවෙන් මේ ජනයාට මහාමාරිය වසංගතය ලැබුනා කියලා. සියවසකදී ඇමසන් වනයේ ඕනෑම දෙයක් වැලලෙන්න පුළුවන්.

වර්තමාන ගවේෂණ වලට මුල් වෙන කාරනාව නම ඇතැම් දකුණු ඇමරිකානු ඇමසන් ගෝත්‍රිකයන් [ඇමසන් ඉන්දියානුවන්] සතුව ඉතා දියුණු සමාජ ලක්ෂණ ශේෂ වී ඇති බවට අන්ත්රෝපොලොජිස්ට් ලා කියන නිසා. මේ ජනතාව පෙර උන්නු දියුණු ශිෂ්ටාචාරයෙන් ඉතිරි වූ අය බවයි කියන්නේ. marajoara කියන්නේ kuhikugu අවට ඉන්න එවැනි ගෝත්‍රයක්. තව ඇති සමහර විට.

මේ අය පසත් එක්ක කරන ගනුදෙනුව තවම වැටහිලා. නැහැ. මේ ජනාවාස තිබ්බ තැන්වල අක්කර ගානක් පොලොවේ මීටර ගානක් යටට තියෙන්නේ අමුතු කළු පසක්. ටෙරා ප්‍රිටා කියන්නේ එය. මේ පස ස්වාභාවිකව හොයා ගන්න නැහැ. ජනාවාස වල වටේට තියෙන්නේ. විශ්ලේෂණය කලාම පෙනෙනවා ඒවා ට්‍රීට් කල බව. කොම්පෝස්ට් වගේ ක්‍රමයකින්. ඒ පසේ භෝග වල අස්වැන්න මාර වැඩියි,

මේ  තියෙන්නේ  සාමාන්‍ය  පස් එක්ක  සංසන්දනයක්.


මේක කොච්චර සිරාද කිව්වොත් දැන් පොරවල් ඒවා හාරලා කොම්පෝස්ට් ලෙස විකුනනවා [නොදකින් වර්තමානය].


ලැබ් වල හදන්න හැදුවට හැදෙන්නෙත් නැහැල්ලු හරියට. සමහරු කියන්නේ වසර සිය ගානක සූක්ෂම වැඩක් කියලා. සමහරු කියන්නේ වසර දහස ගානක ඔවුන්ගේ පරිනාමයත් එක්ක ඉබේම හැදුනා කියලා ඔවුන්ගේ අපරි ද්‍රව්‍ය වලින්ම. වැඩේ තියෙන්නේ ඒ පස තාමත් හැදෙනවා. ඔවුන් මිය ගොස් සියවස් හතරක් ගිහිල්ලත් එලෙසම තියෙනවා. මිශ්‍ර නොවී.

පොඩ්ඩක් නොවේ. ඇමසන් වලින් 5% විතර මේවා හොයාගෙන තියෙනවලු. ඒ බොහෝ තැන්වල ඔවුන්ගේ ගම්මාන හෝ නගර තියෙන්න පුළුවන්. ඒ වගේම තවත් අය කියන හැටියට ඇමසන් වලින් 10% කට වඩා මේ ඇමසන් ශිෂ්ටාචාරයේ ටෙරා ප්රිටා ගොවිබිම්.


මේ නගර වලින් එකක් එල් 
දොරාඩෝ බවත් Z කියන්නේ kuhikugu බවත් බොහෝ දෙනෙක් දැන් හිතනවා. කාටවත් රත්තරන් හමුවෙලා නම් නැහැ.

පින්තූර මෙතනින්: Terra Preta

ජීවත් වන පාලම්

මුහුණු පොත් සාමාන්‍ය දැනුම සමූහයෙන් තවත් ප්‍රශ්නයක්

ශාඛයක මුල් වල වර්ධනය තමන්ට රිසි සේ රිසි දුරකට හා දිශාවකට ගෙනයන අපූර්ව ක්‍රමවේදය සොයා ගත් ඔවුන් ඒ මත සිය දුෂ්කර පරිසරයේ ජීවිතයට නැතුවම බැරි අපූර්ව නිර්මාණයක් බිහි කරන ලදී.

1. ඔවුන් කිනම් ප්‍රදේශයක ජනතාවද?

2. බිහි කළ නිර්මාණය කුමක්ද?

3. මේ වැඩේ කළේ කෙසේද?

_____________________________________________

නිවැරදි පිළිතුර වනුයේ ඉන්දියාවේ මේඝාලය ප්‍රදේශයේ ජනතාවයි. ඔවුන් ජීවත් වන්නේ ලෝකයේ වැඩිම වර්ෂාපතන ලැබෙන කලාපයක, සමහර වර්ෂාපතන ලෝක වාර්තා පවා හිමියි. ඒ වගේම කඳු බහුල අසීරු පරිසරයක්. කොටින්ම ලෝකේ වෙනත් තැනක නම් ජනාවාස නොවෙන තරම් අසීරු තැනක් ඉන්දියානු ජනගහන බෝම්බය පුපුරා යාමෙන් විසි වූ මිනිසුන් පදිංචි වෙලා.

මේ කඳු අතර තියෙන ගැඹුරු පටු නිම්න හරහා එහා මෙහා යන්න අමාරුයි. සම්මත පාලම් හදන්න බැහැ මොකද ගැඹුර වැඩි වීමත් අධික වර්ෂාව නිසා ඉක්මනින් දිරාපත් වීමත් හේතුවෙන්. වාර්ෂික වර්ෂාපතනය මිමි 12000-15000 විතර නිසා ලී දිරනවා. මේ ජනතාව ඊට දෙන විසඳුම නම් දිරාපත් නොවෙන "ජීවත් වෙන" පාලම හැදීමයි.

මේ කට්ටිය කරන්නේ පළාතේ වැවෙන ඉන්දියානු රබර් (රබර්  කිව්වට මේ නුග  පවුලට  අයිති  ගහක්) ශාඛයේ මුල් අරගෙන ඒවා පුවක් පටි වලින් හදාපු බටයක් වැනි ආධාරකයක් දිගේ ඒ තුලින් වැවෙන්න සලස්වනවා. මුල බිම හොයාගෙන බටය තුලින් යනවා එයට බිම හමුවන්නේ ගහ තියෙන පැත්තේ නොවේ අනිත් පැත්තේ. දැන් මේ මුල පොලොවට සවි වෙලා වැඩෙනකම් ආධාරකය දෙනවා. එක මුලක් යැව්වම තව මුලක් යවන්න ලෙහෙසියි. මේ වගේ මුල් පද්ධතියක් එක ඉවුරක සිට එහා ඉවුරට යැව්වම දවසක ශක්තිමත් පාලමක් ඒ සජීවී මුල් වලින් තැනෙනවා. මේ විදිහට හැදුවම ඒවා කැඩෙන්නේ නැහැ ලෙහෙසියෙන්. දිරන්නෙත් නැහැ. අනික එක මුලක් කැඩුනත් තව මුලක් හදා ගන්න පුළුවන්. කැඩෙන තරමට වැවෙන පාලමක්.

පාලමක් සැලසුම් කරලා හදා ගන්න අවු 15 කට වඩා යනවලු. ඒත් මේවා වසර සියගානක් පවතින නිසා ඒකෙ වරදක් නැහැ. අඩි සියයක් විතර දිග, බයිසිකල්, පුංචි වාහන යා හැකි මිනිසුන් පනහකට එකවර නගින්න පුළුවන් පාලම් තියෙනවලු මේ විදිහට හදලා. පාලම නඩත්තු කරන පවුලකට ඒ බිම ලබා දෙනවා මොකද නොකඩවා පාලමට සාත්තු කරන්න ඕනේ.

සියවස් ගණනාවක් ආපු ශිල්පයක්, තාක්ෂණයක්. අදටත් භාවිතා වෙන පාලම්.





පින්තූර  ගත්ත  සබැඳිය  වැඩිපුර කියවීමකට  දානවා:  Living Root Bridges

රළ දිහා බලා සිතියම හැදු මිනිස්සු

මේ මුහුණු පොත් සාමාන්‍ය දැනුම සමූහයකට දාපු ප්‍රශ්නයක් සහ අවසාන කල මගේ පිළිතුර

මුහුදේ රළ දිහා බලා කිමි දහස් ගණන් දුර පිහිටි කුඩා දිවයිනක දිශාව නිර්ණය කර එය ගවේෂණය කළෝ කවරහුද?

__________________________________________________

මාෂල් දිවයින් වැසියන් තමා හරි උත්තරේ. ඇත්තෙන්ම මයික්රෝනීසියානුවන් හා පොලිනීසියානුවන් කිව්වත් වරදක් නැහැ. ඒත් මේ දැනුම සොයා ගත්තේ මාෂල් දූපත් වල ස්වදේශික ජනයා ගෙන්.

මේ  මිනිසුන් තරම් අමාරු ගවේෂණයක් වෙන කවුරුත් කරලා නැහැ. අනික් හැමෝම කළේ එක්කෝ ගොඩබිම දිගේ යන එක නැතිනම් බලාපොරොත්තු වන ලොකු ගොඩබිමක් හොයාගෙන යන 
එක. එහෙම නැතිනම් අහම්බෙන් ගහගෙන යාම.

ඒත් මේ කලාපයේ තියෙන්නේ කිමි දහස් ගණනින් දුරින් පිහිටි කුඩා ඩොට් වගේ දූපත්. මේවා පැතිරී ඇති කලාපය ලෝකෙන් 1/3 විතර. දූපත පිහිටි තැන ටක්කෙටම දැනගෙන ඉන්න ඕනේ. අහඹු ලෙස එහා මෙහා යන්න බැහැ. නාවිකයෙක් දූපත පිහිටි තැන නොදැන ගියොත් බොහෝ විට ඔහු මිය යනවා ස්ථිරයි.

දූපත් වැසියන් දැනගෙන හිටියා දූපතකින් දියවැලක් ඩිස්ටෝට්‌ වෙන හැටි. කිමි දහස් ගානක් දුර තැනකදී රැල්ල කිමි කීපයක් කැඩුනම එහි පරාවර්තන රැල්ල පුංචි රිපල් එකක් ලෙස ආපහු එනවා. එය මනින්න බැහැ. ඒත් ආපහු එන රැල්ල පෙරට යන රැල්ල සමග කන්ස්ට්‍රක්ටිව් හා ඩේස්ට්‍රක්ටිව් ඉන්ටෆියරන්ස් කරනවා. මේ පැටන් 
එක [නොපෙනෙන තරම් කුඩා] ගවේෂණය කිරීමෙන් කිමි දහස් ගානක් දුරින් තියෙන කිමි කීපයක් පළල දූපතක් ගැන අනුමාන කල හැකියි.

මේක වැරදුනොත් යන කට්ටිය මුහුදේම මිය යාම වැළකිය නොහැකියි.

අදාළ දැනුම පහලට ගියේ කවි වලින්. මේ 
මයික්රෝනීසියානු හා පොලිනීසියානු කවීන් හැම පරපුරකම වෙනම හිටියා. ඔවුන් වටින නිසා ඔවුන් ගවේෂණ වලට යැව්වේ අඩුවෙන්. ගෙදර ඉඳං දූපත් පිහිටි තැන් කිව්වේ මේ අයයි. ඒ ඇසුරෙන් හදාපු නාවික ගවේෂණ උපකරණ තිබ්බා. කෝටු සැකිලි වර්ගයක්. දැනට එහි  අනුරුව සිහිවටන වගේ හදලා විකුනනවා.



මේ වැඩේ හරියට කල හැටි හෝ කෝටු සැකිලි වල මුළු තේරුම අද ලෝකය දන්නේ නැහැ. අනුමානයක් පමණයි තියෙන්නේ.




ලෝකයේ වැඩිම විසිරියක පැතිරුණු තනි [එනම් සමාන] ශිෂ්ටාචාරය 
මයික්රෝනීසියානුවන් හා පොලිනීසියානුවන්. මුළු මුහුදු වර්ගපලය මොංගල් වරුන්ගේ උපරිම අවස්තාව [හෝ මහා බ්‍රිතාන්‍යයේ උපරිම ගොඩබිම] වගේ තෙගුණයක්

වැඩිපුර:

Polynesian navigation

Traditional Marshallese Stickchart Navigation